මගේ මාමා ගැන මතකය සුවිසල් එකක් නොවේ. කුඩා කාලයේදී ඔහු හා බැඳුණු මතකයක් මට ඇත්තේම නැත. මාමා මට පළමු වරට හොඳින් මතක හිටියේ මගේ පුංචීගේ මඟුල් දාය. මාමා අපේ අම්මාගේ නැන්දාගේ පුතාය. එහෙයින් ඔහු මගේ අම්මාගේ ඇවැස්ස මස්සිනාය. කෙසේ වුවත් මේ අක්කා නඟෝලා දෙදෙනාම තම ඇවැස්ස මස්සිනාට බහ දීමට අකමැති වූහ. හේතුව මට නම් අදටත් හිනා යන එකකි. "නැන්දා සැරයි"... ඔය කතාව ගැන පුංචීගේ පැහැදිලි කිරීම කෙසේ වුවත් අපේ අම්මා කියන්නේ ගල් පැලෙන බොරුවක් බව මට හොඳටම විස්වාසය. තාත්තා හා ඉස්කෝල කාලේ සිටම ඇගේ යාළු මිත්‍ර කමක් තිබී තිබිණ. ඉතින් මාමා ගැන මොකට හිතන්නද...
අපේ අම්මලාගේ පරම්පරාවේ ඉහළටම උගත් මිනිසා මාමාය. විශ්ව විද්‍යාලයට සමත් වී ඉන්පසු පහසුවෙන්ම දිසාපති කමක් ලබා ගැනීමේ අවස්ථාව තිබියදී, ඔහු ගුරු වෘත්තියම තෝරා ගත්තේ දරුවන්ට ඉගැන්වීමට ඇති ආශාව නිසාම විය යුතුය.
පුංචීගේ මඟුල් දා මාමා පැමිණ සිටියේ ඇගේ බිරින්දෑත්, අඟුරු කැටයක් වන් කළු කෙලි පොඩ්ඩත් සමඟය. මාමා කළුය. උසය. උසට ගැලපෙන මහතය. සිනා වෙන විට සුදෝ සුදු දත් දිලිසේ. ඝන කළු රවුල මුහුණ පුරාය. එතරම් කළු මුහුණේ එතරම්ම සුන්දරත්වයක්, ප්‍රසන්න බවක්, සුහද ශීලීත්වයක් නිතොරම රැඳී තිබුණි.
"උඹට ඉතින් අපිව මතක් වෙන්නෙ අපිම ආරාධනාවක් කළොත් විතරයි" අම්මා රැව්වාය.
"නෑ ... මම කියන්නේ ඇත්තමයි.. හරියට වැඩ." ඔහු සිනා සෙමින් පිළිතුරු දෙයි.
මාමා සිය පත්වීම ලැබ ගියේ රජරටය. රජරට කුඩා පාසලක උප ගුරුවරයකු ලෙස සිය වෘත්තිය ආරම්භ කල ඔහු ඔය කියනා කාලය වන විට විදුහල්පති ධූරය දක්වා ඉහළ නැඟ තිබුණි. දෝණියන්දෑ තාත්තාට පණ ඇරලාය. "මෙයත් එක්ක මට මේ ළමයව හදා ගන්න බෑ. මම සැර කලොත් මෙයා නළවනවා. ඉල්ලන ඉල්ලන එක අරන් දෙනවා. මේ ලඟදි බයිසිකලයක් ඉල්ලලා අඬලා පොළොන්නරුව ටවුමට ගිහින් අරන් ආවෙ මෙයා"
මාමා සිනා සෙනු මිස කිසිත් නොදොඩයි.
එදා නම් මාමාව මට හොඳ හැටි මතක හිටිණ. දැනුදු ඒ රුව මට හිතින් මවා ගත හැක.
ඊලඟට අපට මාමා මුණ ගැසුණේ අපේ සීයාගේ මළගම දාය.
මාමා මිනියේ අවසන් කට්යුතු කරන දිනට පෙර දිනයක ඒ යැයි අපේ අම්මලා බලාපොරොත්තු වූහ. මාමා පැමිණියේ අවසන් දිනයේ දහවල් වීය.
"කතා කරන්න නරකයි" අක්කා නගෝලා කෝපයට පත් වී සිටියහ.
"මොනව කරන්නද බං. දාල එන්න බෑ. හොඳටම වැඩ"
මාමා හොඬටම දිරාපත් වී සිටියේය. කොටින්ම මම මාමා නොහැඳිනීමි.
කොණ්ඩය සුදු පාටය. රැවුල තඹ පාටය. පපුව පිටත ඇලෙන්නට ඔන්න මෙන්නය.
"මට ගැස්ට්‍රයිටිස්..."
"මේ මෙයත් උදේට කන්නෙ නෑ" අපේ අම්මාට ඉතින් මගේ වැරැද්දක් නං, තව මුකුත් ඕනෑ නැත.
"නරක කෑම පුරුදු එහෙම තියා ගන්න එපා දුව. පේනවනෙ. හොඳ කර ගන්න අමාරුයි. දැන් වෙද මහත්තයෙක් ගෙන් බේත් කරනවා.. දුව මොනවද කැමපස් එකේ කරන සබ්ජෙක්ට්ස්?"
එදා නතර වෙන්ටැයි කළ ඉල්ලීමද ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
"බෑ බං .. යන්න ඕනි.. "
"උඹට තණ්හාව වැඩි වෙලා. කුඹුරු කරලයි, මිරිස් වවලයි හම්බ කරන සල්ලි වලින් ජීවිතේ සැපකුත් විඳපන්"
මාමාගෙන් ඕවාට කවදත් උත්තර නැත.
ඊලඟට මාමා අප බලන්නට නාවේය.
අපි මාමා බැලීමට ගියෙමු.
නවලෝක රෝහලේ ඇඳක් මත ඔහුගේ දිරා පත් ශරීරය තබා තිබුණි.
හුස්ම ගන්නටත්, මුත්‍රා පිටවන්නටත් බට දමා තිබිණ. මට දුෂ්කර ක්‍රියා කළ බෝසතාණන් වහන්සේ මතක් විණි.
අපට හැඬුම් අයේය.
"මොකක්ද උඹ මේ කර ගත්තේ.."
"අඬන්නෙ නැතුව ඉඳහන්.." සිනා සෙන දසන් එදා මෙන් සුදුය.
"මෙයා ඕක දැනගෙන තියෙන්නෙ මීට අවුරුදු තුනකට කලින්. තනියම කොළඹ ඇවිත් චෙක් කර ගෙන. අපි කිසි කෙනෙක්ට කිව්වෙ නෑ. ගැස්ට්‍රික් කිය කිය වෙද මහත්තයෙක් ගෙන් මොනවද ගුලි බි බී හිටියා. මාව රුස්සන්නෙ නෑ. ළමයව රුස්සන්නෙ නෑ.. දැන් දරුවා තාත්තාට බයයි. තාත්තා ලඟට යන්නෙත් නෑ.."
ඔහු සූක්ෂම ලෙස සියල්ල ක්‍රියාවට නංවා තිබුණි.
"කොහොම කළත් මැරෙනව බං"
මාමා උපගුරුවරයකු ලෙස පත් වී ආ පාසල, ඔහු පළාතේ හොඳම පාසලක් බවට පත් කොට තිබිණි. ගොඩනැගිලි දෙක, සර්ව සම්පූර්ණ පාසලක් බවට පත් කිරීමේ ගෞරවය ඔහු සතුය.
තමා පිළිකා රෝගියකු බව දැනගත් වහා ඔහු සියළු ආදරණීයයන් තමන් වෙතින් ඈත් කර තිබිණ.
"වැඩි හරියක් ඉස්කෝලෙමයි.. ගෙදර එන්නෙ කන පොඩ්ඩට විතරයි"
පාසල කෙරෙහි කොහොමත් වූ වෙහෙසීම, ඔහු රෝගයෙන් ඇති පීඩා මැඬලීම සඳහාද ප්‍රයෝජනයට ගත්තා දැයි සැක සහිතය.
මිය යන්ට පෙර බොහෝ වැඩ කළ යුතුය. මිය යන්ට පළමු හැකි උපරිමය කළ යුතුය.
මාමා මිය ගිය දින, ඔහු මිය යන්නට පැය කිහිපයකට පෙර තාත්තා මාමා බලන්නට ගොස් තිබිණ.
"ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො බස් දෙකකින් ආව බං....... මම මැරෙයිද?"
තාත්තා ගෙදර විත් විස්තර කීවේ කඳුළු පිරි දෑසිනි.
ඔහුගේ ඇප උපස්ථානයට ගුරුවරු මාරුවෙන් මාරුවට සිටියහ.
රෝහල් ගාස්තු ගෙවා දැමුණේ රජරට දෙමාපියන් සිය කණ කර පවා උගසට තබා එකතු කර එවූ මුදලිනි. මාමාගේ මිනිය ගමට ගෙනා මුත්, මෙහි වළදමනවාට ඔවුහු අකමැති වූහ. සියළු වියදම් දරා ඔවුහු මාමා රජරටට රැගෙන ගියහ.
"මාමා අයිති එහෙටයි" මට සිතේ.
අවුරුදු ගණනාවකට පසු රජරට චාරිකාවේ යෙදුණු අපි, මාමා තැනූ පාසල අයිති පෙදෙසේ ගමන් කලෙමු.
"එන්න කිය කිය කියපු කාලෙ අපිට එන්න බැරි උනා"
අපි පාර අසාගෙන ඔහු තැනූ පාසල බලන්නට ගියෙමු.
අපි යන විටත් ඔහු වෙනුවෙන් තැනූ සොහොන් කොතේ කොනක මල් තබා ඉටිපන්දම් පත්තු කර තිබිණ. මාමාගේ විශාල ඡායාරූපයක් විදුහල්පති කාමරයේ තබා තිබුණි.
"ඌ අපිට එන්න කිව්වා.. අපි ආවෙ නෑ.." තාත්තාගේ හඬේ ගැබ් වී තිබුණේ ශෝකී රාවයකි.
"සෝමදාස කියල ප්‍රින්සිපල් කෙනෙක් හිටිය මචන්.. ඉස්කෝලයක් තනියම හැදුවා.. අදත් ළමයි ඉස්කෝලෙ යන්නේ මිනිහගෙ සොහොනට මල් තියලා"
තාත්තලාගේ පාසලට අලුතින් පැමිණි ගුරුවරයකු පවසා තිඹුණි.
මට එක්වරම දුයිෂෙන් මතක් වේ. දුයිෂෙන්ගේ කතාව බොරුවක් විය නොහැක.
අපේ මාමාද දුයිෂෙන් කෙනෙකි.
Thursday, June 16, 2011
Subscribe to:
Post Comments (Atom)
10 විවේචන:
මම මෙච්චර කල් වෙනකන් හිතන් හිටියේ දුයිෂෙන්ලා හිටියේ ගුරු ගීතයේ කියලා. ඒ දුයිෂෙනුත් මේ වෙනකොට මැරිලා ඇතිනේ කියලා. නමුත් අදටත් දුයිෂෙන්ලා පහල වෙනවා කියලා හිතෙන්නේ අක්කගේ මේ කතාව කියෙව්වට පස්සේ.
අනේ මන්දා අක්කේ හොද මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙන්නේ නෑ. නමුත් ජීවත් වෙච්ච කාලයට වඩා කාලයක් ඒ නම මතක් කරන්න පුලුවන් විදිහේ හොද වැඩ ගොඩක් කරලා තමයි මැරෙන්නේ.
ඒකට නරක එවුන්. ගොඩ කල් ජීවත් වෙනවා. මලාට පස්සේ මතක් කරන්නත් හිරිකිතයි.
ඒ අතින් අක්කේ මාමා හිත හොද කෙනෙක්.
මාමට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!!!
සැබෑ මිනිහෙක්....
ඇස් දෙකට කඳුලු ආවා....
ලස්සනයි... ගොඩක් ලස්සනයි.. සිංහල තව ටිකක් හදාගන්න උත්සහ කරන්න. ඒ වගේම දිගටම ලියන්න.. සුභ අනාගතයක් ඔයාට..
ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අපි පියාඹන දුර සීමා කරන්නේ.
URL: http://madhushikakaushalya.wordpress.com/2011/06/16/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b7%80%e0%b7%85%e0%b6%9a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%87/
මේ තියෙන්නෙ දැන් ජීවත් වෙලා ඉන්න දුයිෂෙන් කෙනෙකුට අත්වෙන ඉරනම
සංවේදී කතාවක්, කියවනකොට ගොඩක් දුකයි. තාමත් ඒ වගේ මිනිස්සු ඉන්නව අක්ක. මාම නිසා අනිත් අය දුක් වෙනටව එයා කැමති වෙන්නෙ නැතුව ඇති. ඒකයි තනියම හිතේ හිර කරගෙන ඉන්න ඇත්තෙ.
සුපිරි ලිපියක් නිලූශා,,,, ඒත් කාලෙකට පස්සේ.... සංවේදී ලිපියක්..........
ඇත්තටම මැරුණත් නම මතක් කරල වඳින්න සුදුසු මිනිහෙක්...
හැමෝටම ස්තුතියි ...
@අභීත: අකුර පොඩ්ඩක් වැරදියි :) නිලූෂා :)
කඳුලු ආවා....හරිම සංවේදියි.ලස්සනට ලියලා තියනවා...
Post a Comment