කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා?
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)
691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Friday, August 12, 2011
Saturday, August 6, 2011
අම්මා
අම්මා මිය ගියාය. ඈ මිය ගියේ, මොළයේ ස්නායු දුර්වල වීම් නිසා හටගත් මතක ශක්තිය හීන වීම සහ අංශභාග තත්ව කලක් පැවතීමෙන් අනතුරුව, ශරීරයේ ඉබේම සිදුවූ දිරා යෑමෙන් බව වෛද්‍යවරුන්ගේ මතය විය. මෙය අනිවාර්යයෙන්ම අනෙක් සියල්ලන්ගේම මතයද වූ අතර, කාර්ය බහුල ජීවිත සහිත ඔවුන්ට ඒ පිළිබඳව ඊට වඩා විශ්ලේෂණයක් කිරීමට තරම්, ඉඩක් හෝ වුවමනාවක්ද නොවීය. කෙසේ වතුදු, ඈ මිය යන්නට ඇත්තේ පාළුව හා කණස්සල්ල නිසා ඇති වූ චිත්ත වේග පාලනය කරගත නොහී, කලක් යද්දී දුර්වල වූ මානසිකත්වයේ පිහිටෙන් වෙන්නට හැකිය වැනි අදහසක්, නිකමටවත් ඔවුන්ගේ කල්පනාවට නාවේය.
අම්මා උපන්නේ ලංකාවේය. අර්ධ නාගරික පවුලක් වූ ඔවුන්ගේ පවුලේ එකම දුවණිය ඇය විය. අම්මා මිය යන්නේ එංගලන්තයේදීය. ඉගෙනුමට හපන් වුවද තමන් හරි හැටි යා යුතු විෂය ධාරාව තෝරා ගැනීමට සමත් නොවූ අම්මා, අවසන පිට රට ගොස් වෙද කම් කිරීමට බලාපොරොත්තු වූ දොස්තරෙකුට කසාද බන්ඳවන ලදී. රට යන විට ඈ මිතුරියන්ට කියුවේ එහේ ගොහින් තමන්ද දොස්තර විභාග කරන බවය. දොස්තර විභාගය කෙසේ වෙතත් ඇයට ටික කලකින්ම මවු පදවිය හිමි විය. අම්මා ඔය ලෙස වරින් වර පස් වතාවක් පමණ, නැවත නැවතත් අම්මා කෙනෙකු වූයේ එංගලන්තයේදීමය.
ඒ පවුලේ වැඩිමලා කෙල්ලකි. දෙවෙනියාද කෙල්ලක වීම නිසා තෙවනියා කොල්ලෙකු වේවායි බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කෙරිණි. එවර නම් එකෙකු වෙනුවට කොල්ලෝ දෙදෙනෙක්ම ආවෝය. හතර දෙනාම ලොකු මහත් වී කලකට පසු, වැරදීමකින් පස් වෙනියා උප්පත්තිය ලැබීය. ඇය නම් අම්මාගේ කපාපු පළුවම විය. දරු හුරතල් මැද, නිමක් නැති කලබල මැද්දේ දිවි ගෙවූ අම්මාට වයස අවුරුදු පහළොව දාසය වෙද්දී සියළුම දරුවන් තමන් හැර යාම විඳවිය නොහැක්කක් විය.
ලන්ඩන් වැනි ජනයාගෙන් පිරි නගරයක තනිකම දැනීම පුදුමයකැයි ඔබ කියන්නට පුළුවන. නමුත් සත්‍යය එයමය. මහා නගරයක ඇය තනි වූවාය. ස්වාමියා සමඟ රට හැරදා එද්දීම ඈ තනි වන්නට ඉඩ තිබූ නමුත්, දරු සෙනෙහස් ගඟේ ගිලී ඉන්නට වරම් ලද හෙයින් ඈට ඊට ඉඩ කඩ නොලැබිණ. නමුත් ඉතා වේගයෙන් සියල්ල කණපිට හැරෙන්නට පටන් ගෙන තිබිණ.
වැඩිමලා සංගීතකාරියක වූ අතර දෙවැන්නී ඉංජිනේරුවරියක වූවාය. කොල්ලෝ දෙදෙනාම තාත්තාගේ අඩි පාරේ ගියහ. බඩ පිස්සී ගංජා කාරයකු සමඟ පැන ගියාය. හුරතලේ වැඩි වීමේ වැරැද්ද අම්මා පිට පැටවිණ.
අම්මා තමන් අහසේ පාවෙනු දැනී පහල බැලුවාය.
අසනීප වී සිටි කාලයේ කිසිදු දිනක, හෙදිය තමන් පිරිසිදු කර අහවර වන තුරු ළඟට නො ආ දරුවෝ ඇගේ අක්‍රීය දේහය බදා සිප ගත් හ. "ඒකෙත් වෙනසක් නෑ නෙ".. මේ දේහයත් අවමංගල්‍ය කටයුතු සූදානම් කරන්නවුන් විසින් හොඳින් නහවා, විෂ බීජ නාශක යොදා ඇතුවා නිසැකය. රටට වැඩදායී දරුවන් තැනීම වෙනුවෙන් කවුරුත් ඇයට ප්‍රශංසා කළහ.
"ඔක්කොම බොරු කාරයෝ. ලේ වලින් දුවන මැෂින්..." ඇය යන්නට හැරුණාය.
ජීවත්ව සිටියදී තමන් හා වචන පහක් කතා කිරීමට කාලය වෙන් කර ගැනීමට නොහැකි වූවන්ගෙන් දැන් ඇති පල කිමදැයි අම්මාට සිතුණි.
අම්මා සෙමින් සැහැල්ලුවෙන් ගමන් කළාය. වළාකුලෙන් වළාකුලට මාරු වීම සිනහ දනවන නුහුරක් විය. පුළුන් වලින් මෙන් තැනූ සුවිසල් මන්දිර වලට යන මාවත් විසල් දොරටු වලින් වැසී තිබිණ. සමහරක් ඈ එනවිට විවෘත වූ අතර, සමහරක් එලෙසම වැසී පැවතිණ. ඈත දුරින් නිවන් මඟ දොරටු පෙනෙද්දී අම්මා හුරු පුරුදු මුහුණක් හිනැහෙනු දැක නැවතුණාය.
"අම්මා...." අම්මාට කියැවිණි.
අම්මාගේ අම්මා ඈ අසල හුන්නාය.
"මට දොර ඇරුණා... මට දූ මතක් උනා... එක පාරට මගේ බර වැඩි වුණා.. දූ දකිනකන් මට සැනසිල්ලේ සැහැල්ලුවෙන් දොර ලඟට යන්ට බැරි වග මට තේරුණා.. දූ එනතුරු මම නැවතුණා"
අම්මාගේ දෑසේ කඳුළු පිරිණ. ඇගේ අම්මා ඈ මේ ලඟින් හිඳ දකින්නේ වසර පනහකට පමණ පසුය. එංගලන්තයෙන් තාවකාලිකව හෝ යළි පැමිණියහොත්, ඔවුන්ට ඇති වන, පුරවැසිභාවය ලබා ගැනීමේ ගැටලු නිසා, සිය මව් බැලීමට ඒමට අම්මාට නොහැකි විය. දෙවැන්නී උපන් විට ඇගේ මව් දූ බැලීමට සූදානම්ව සිටි මුත්, හදිසියේ අසනීප වූවාය. එලෙස අසනීප වූ මව් බැලීමටත්, පසුව අසනීපයෙන් හිඳ මිය ගිය සිය මවගේ මළගමට යාමටත් ඔවුන්ට නොහැකි වූයේ මේ නීතිමය තත්වයය.
"ඒ දවස් වල මම අම්මාට ඇති වෙන්න සල්ලි යවනවා නේ කියල හිතුව. දරුවො ඇස් මානයේ දකින තරන් පොහොසත් කමක් තවත් නෑ කියල මම දැන් දන්නවා " අම්මාට සමාව අයැදීමට ඕනෑ විය.
"දූ සතුටෙන් බව මම දැක්කා. මම දූ බලන්න ආසාවෙන් උන්නේ. මට දැන් හිත හදාගෙන යන්න පුළුවනි"
"මාත් එනවා අම්මත් එක්ක.." අම්මා හැරුණු මුත්, ඈට එක් වරම පොඩ්ඩී සුසාන භූමියේ කෙළවරක, හුදකලාව හිඳිමින් හඬනු සිහිපත් විය.
"අම්මා යන්න. මම පස්සෙ එන්නං"
අම්මා නැවතුණාය. පොඩ්ඩී කොහොම ඉදිරියට මුහුණ දෙනු ඇත්දැයි බියක් ඇය තුළ ජනිත විණ. සැහැල්ලු බව සිඳී, දෙපා බර වනු අම්මාට දැනිණ.
නිවන් මඟ දොරටු පෙනි පෙනී ඈ මඟ නතර වූවාය.
Subscribe to:
Posts (Atom)