skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, February 4, 2011

ආදරයෙන් ...

ආදරයෙන් අයියා වෙත,

අයියාත් පවුලේ හැමත් ඉතා හොඳ ශාරීරික සුවතාවයකින් යුතුව සිටිතැයි සිතමි.
පොඩ්ඩී ගැන අයියා උරණ වූ බව මම දනිමි. අයියා කියවාදෝ, නොකියවාදෝ සැකය නිසා මෙතුවක් කල් නොලීමි. කෙසේ වුවත් අයියාට නොලියා සිටිය නොහැකි තැනට කටයුතු යෙදී ඇති නිසා නොපමාව ලියන්නට සිතුවෙමි.

චූටි පුතා ගැන අක්කා දරුණු වෙනවා වැඩියි මා කියූ කියුම ඔබ දෙපලම කිසි දිනක නොපිළිගත්තෝය. පොඩි එකෙකුගේ හදවත ගැහෙන්නේ මෙලෙසැයි දැන්වත් ඔබට වටහා ගත හැකි වේ යැයි විස්වාසයෙන් මම ඔබට ලියමි.

චූටි අපෙන් වෙන් කල දිනයේ වැට අයිනට වී පැය ගණනක් එක දිගට හැඬූ හැටිත්, සති කිහිපයක් ඉක්ම යන තුරුත් සාංකාවෙන් අපේ ගේ දෙස බලා හිටි හැටිත් මතක් වී දැනුදු මගේ හද පෑරේ. අවුරුදු තුනක හුරුබුහුටි කොළු පැට්ටෙකුට, තමාගේ නැන්දාගේ ගෙදර පැත්ත පළාතේ නොයෑමට තර්ජනය කිරීම කොතරම් අමානුෂික දැයි ඔබට එදාද නොවැටහුණි.

චූටි පුතා අපේ පවුලේ එකෙකු වූයේ ඒකා උපන් දාමය. චූටි අප පවුලට සමීප වීම අක්කා කොයි හැටියෙන් වටහා ගත්තද; කුඩා දරුවෙකු දැඩි වූ බැඳීමකින් සිටියවුන්ගෙන් ඈත් කිරීම, දරුවාගේ මානසිකත්වයට කොතරම් භයානක බලපෑමක් එල්ල කරද්දැයි යන්න ඈ නොදැන සිටි වග මට එදා මෙන්ම අද ද ප්‍රත්‍යක්ෂ්‍යය.

අපට ඔබත්, ඔබට අපවත් පිළිකුල් වූ ඒ අභාග්‍යවන්ත සිදුවීම සිදු වී දැනට වසර 20ක් ඉක්ම ගොස් ඇතිය.
චූටි ඉන් මතු කිසි දිනෙක අපේ ගෙදර නාවාට, හිත තිබුණේ අප ලඟ බව මම හොඳින්ම දැන සිටියෙමි. වෙනසක් නොකර, මගේ දරු දෙදෙනාට ගෙන එන හැම දෙයක්ම වාගේ චූටිටත් ගෙන ආයේ එහෙයිනි. අක්කා පුතා දැඩි පාලනයකට යට කරනු දුටු අපි මුවින් නොබැණ, සිතින් හැඬීමු. ඈ පැතූ ලොව ඔහු ලවා ගොඩ නඟන්නට යාම විහිළුවක් කිරීමට චූටි තීරණය කලේ කවදා කෙසේදැයි මම නොදනිමි.

පුතා ඊයේ අප හමුවට ආවේය. ඕස්ට්‍රේලියාවේ උපාධියකට ඔහු සූදානම් වද්දී ඔබ සියල්ල සතුටු වන්නට ඇත. චූටි මෙහි කරන්නේ වැඩි හරියක් නාස්තිකාර වැඩයි කීවොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එය එසේය. චූටිට මෙහේ උපාධියකින් කම් නැත. අයියාට කරච්චල් කොට වාරයේ වියදම් ලෙස ගෙන්වාගත් මුදලින් යහළුවන් සමඟ පිස්සු නැටූ බව ඔහු ඊයේ මා හා කීවේ බීමතේමය.
මේවා අහන්නට තරං අපි කාලකණ්ණි උනා නේදැයි දැන් අයියා අක්කා සමඟ කියනු ඇත. ඕකා උස් මහත් කලේ කොච්චර දුක් විඳලාදැයි අක්කාද කියන බව මම දනිමි.

නමුත් මිනිස් සිත පුදුම සහගතය. ඔබට අනෙකෙකුගේ ප්‍රාර්ථනා පාලනය කල නොහැක. ඔබේ පැතුම් අනෙකෙකුගේ උර මතින් දකින්නට යාමෙන් ඔබ දෙපලම මහත් වූ වරදක් කර ගති.

චූටි තවමත් අපට ආදරේය. මම අපේ ගෙදර නවතින්නැයි ඔහුට අයැදීමි. චූටි මා බදා හැඬූ මුත්, නවතින්නට එකඟ නොවීය.
"මට තව ටිකක් නාස්ති වෙන්න ඕනේ. නැන්දාගේ ආදරෙන් මට නාස්ති වෙන්න බැරි වෙයි. එතකොට මට අපේ ගෙදර අයට රිද්දන්න හම්බ වෙන්නෙ නෑ"
මේ චූටිගේම වචනයි. තම දෙමාපියන්ගෙන් පළිගැනීමට චූටි යොදා ගත් මඟ අපූරුය.

මට පුතු ගැන කණගාටුය. අයියාත් අක්කාත් දරුවා තේරුම් නොගත් බැවින් මෙලෙස වූවා යයි දැන්වත් පිලිගනු ඇද්දැයි මට සැක සහිතය.

දරුවා ගොඩ ගැනීමට හැකි වෙර මම යොදන්නෙමි. චූටිගේ අධ්‍යාපනය කෙසේ වෙතත්, චූටි වැටී ඇති මානසික පරිහානියෙන් පිටතට ගැනීමට මම උත්සාහ කරන්නෙමි.

ඔබ දරුවාට දරුණු වූ තරමට දරුවා තවමත් ඔබට දරුණු වී නැත. මා පිය සෙනෙහස තර්ජනයක් නොව ආශිර්වාදයක් බවට පත් කර ගැනීමට තවමත් ඔබ ප්‍රමාද නැත.

මගේ වෑයමට ඔබ දෙපළ අසතුටු නොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මීට,
සදා ලැදි,
පොඩ්ඩී.
Posted by ස්වප්නා at 19:34
වර්ගීකරණය: පුංචි කතාවක්

7 විවේචන:

සංකල්ප said...

අක්කා සුදූ කියලා කියන්නේ සුදාට එහෙම නෙමෙයි නේ ?

දවසක් අපේ අම්මත් මොකද්ද මන්දා එහෙකට නැන්දලත් එක්ක තරහා උනා. එදායින් පස්සේ සුදු වගේ අපේ මලිති නංගිවත් ගෙවල් පැත්තේ එව්වේ නෑ.

February 4, 2011 at 8:01 PM
ස්වප්නා said...

මිනිස්සු ප්‍රශ්න විසඳන්නෙ වැරදි විදිහට සමහර වෙලාවට :)
ඔන්න නම වෙනස් කලා, පැටලවිල්ලක් වෙයි කියල හිතුණ නිසා.

February 4, 2011 at 8:13 PM
Anonymous said...

හ්ම්... මිනිස් හිත් කොහොමත් එකිනෙකාට වෙනස්නේ ස්වප්නා... අක්කා කරලා තියෙන්නේ වැරැද්දක්...තමන්ගේ තරහ තමන් ලගම තියන් උන්නා නම්..එ තරහා හන්දා පොඩි එකාව වෙනස් කරන්න හැදුවාම පලක් තියෙනවාද... එයාගේ එ අකල් කෙන්තිය හන්දා අද නංත්තාර වෙලා තියෙන්නේ එයාගෙම ලේ..

February 4, 2011 at 9:26 PM
dinesh said...

දැන් කතා කිව්වට ස්වප්නගෙ බබෙකුට උනත් ඔය සෙතේම තමා.....

"ඒයි....යන්නෑ එහෙ....,ආයෙ ගිහින් තිබුනොත් කකුල් කඩනවා....." හික්.....කියවෙන්න ඉඩ තියනවනේ.....

හැබෑටම මටත් පොඩි කාලෙ ඔහොම තහංචියක් දාල තිබුන.මම නෙමෙයිනෙ ඉතිං ඕව ගනන් ගන්නෙ.

ඔන්න ස්වප්න හෙටත් ලස්සන කතාවක් ඕනේ.....

February 4, 2011 at 9:44 PM
``` Outsider``` said...

දෙමව්පියන්ගෙ සිහින ළමයින්ගෙන් දකින්න හදන එක මෝඩ කමක්.
හැබැයි අතින් අර උඩ කියල තියෙනව වගේ ස්වප්නා නගාත් කවද හරි ඒ සෙල්ලමම කරයි. හික්..හික්.. බණ දෙසනව වගේ නෙවෙයිනෙ කරන්න ගියාම.

February 5, 2011 at 9:10 AM
Dinesh said...

අයියේ දවසක් නුඹ උරණව ගිය දවසේ
පුන්චි පුතු හැඩුවා එල්ලී මගේ දෑතේ
එක්කර ගෙන නපුරුව නුඹ ගිය මොහොතේ
නොසිතුනිද මෙවන් දෙයක් නුඹෙ සිත ඇතුලේ..

වැට මායිම් තර්ජන නොඅඩුව ලැබුනේ
පොඩි එකා හිටියේ සිතින් අප තුරුලේ
පෙනී පෙනී ගෙදර එන්නට බැරි මොහොතේ
නපුරු උනේ සිත මවුපිය දෙපල කෙරේ..

February 5, 2011 at 4:07 PM
ස්වප්නා said...

@ Dinesh : ස්තුතියි, පද වැලකින් පිටුව සැරසුවාට

@ aoutsider, dinesh : අපෝ නෑ :) හී හී .. මම එච්චර නපුරු නෑ :)

@ නිම්ශා: ස්තුතියි ප්‍රතිචාරයට

February 6, 2011 at 10:20 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio