skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, February 25, 2011

හසු වීම ...


කැස්සත් ආදරයත්, හංගන්ට යාමත්
වක්කඩේ සඟවා ,හකුරු සුරැකීමත්
එක වගේ මෝඩකම් බවට සහතිකයක්
ලැබුණාම සිනහවට, නෑ නිමා වීමක්

කටුක මඟ ගෙවමින්, ආ දුර බොහෝ වූ මුත්
දුක් නැතැයි හෙටනම්, සිතේ නැඟ එයි හැඟුමක්
ආකහේ පාවෙනා සැහැල්ලුව විඳිමින්
හැමදාම මේ සිනා තියේවා පතනෙම්
Posted by ස්වප්නා at 15:34 14 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Wednesday, February 23, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )

මේ සුදා ලස්සනට නට නට කියන සිංදුවක්. බලන්න මොකක් හරි විශේෂත්වයක් පේනවද කියල.
මේකට කියන්නෙ, කිඹුලගෙ සිංදුව.

කිඹුලගෙ තාත්තා
උරහිස හොලවනවා
පී........න පී.......න නෑ...වා


කිඹුලගෙ අම්මා
ඇස් දෙක කරකවනා
ඇස් දෙක කරකවනා
පී........න පී.......න නෑ...වා


කිඹුලගෙ අයියා
කකුලක් සොලවනවා
පී........න පී.......න නෑ...වා

කිඹුලගෙ අක්කා
පච්ච චොලවනවා
පච්ච චොලවනවා ( හී හී හී සිනාවෙමින්)
පච්ච චොලවනවා
පී........න පී.......න නෑ...වා

කිඹුලගෙ පැටියා
මුකුත් කරන්නේ නෑ ...
පී........................න පී.............................න නෑ...වා

මට මතක් උනේ අර මොකක්ද සංගීත කණ්ඩායමක සිංදුවක් තියෙන්නෙ "BOYS WILL BE BOYS" කියල :). අන්න ඒක :)
Posted by ස්වප්නා at 08:44 5 විවේචන
වර්ගීකරණය: රස කතාවක්

Sunday, February 20, 2011

හිතුමතේ



නිදහසේ හිතුමතේ හිත මගේ
ඔබ ලඟින් ඔබ ලඟින් නැවතෙතේ
කනකටත් නොගෙන මං කියන දේ
රැව් දිදී විසිර යයි හඬ ඔබේ

වෙර යොදා ගැට ගසා එක සැණේ
පොත් දිහා නෙත් යොමා හිඳිමිනේ
කියවනා අකුරු අතරින් ඔබේ
කඩවසම් රුව පෙනී සැඟවෙතේ

හිත පුරා රුව ඇඳී කරදරේ
ඔය සිනා මොකටදෝ හමුවුණේ
නුඹ නිසා මං විඳින මේ වදේ
නිම කරන්, මං අරං නුඹ වෙතේ
Posted by ස්වප්නා at 18:41 13 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Tuesday, February 15, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මේ ටිකත් බලමු.

501.) අධික
502.) ජරාජීර්ණ
503.) දිළිඳු
504.) මාණික්‍ය
505.) ධාරානිපාත
506.) කුහුල
507.) පළපුරුදු
508.) කෝලාහලය
509.) කන්නලව්ව
510.) විමර්ශනය
511.) සන්ධානය
512.) සාමාර්ථ්‍යය
513.) කුමන්ත්‍රණය
514.) අප්‍රාණික
515.) අධ්‍යක්ෂණය
516.) ජ්‍යෙෂ්ඨ
517.) වනෝද්‍යානය
518.) දේශාභිමානය
519.) මූලාරම්භය
520.) විදේශාධාර

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:34 1 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අදට වචන 500ක් ඉගෙන ගෙන... කීයක් මතකද හරියටම ? :)

481.) නගරාධිපති
482.) ස්වදේශික
483.) මහාද්වීපය
483.) සමුද්‍රය
484.) ප්‍රකාශන
485.) ප්‍රථමාධාර
486.) ප්‍රදීපය
487.) භාර්යාව
488.) විපක්ෂය
489.) ආත්මාර්ථකාමී
490.) ධජය
491.) නිර්භය
492.) මෘගයා
493.) අධිකරණය
494.) ශාස්ත්‍රය
495.) ශීලාචාර
496.) අභියෝගය
497.) යාත්‍රාව
498.) ප්‍රාණවාචී
499.) සංඥාව
500.) බෝධිය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:23 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Sunday, February 6, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )


මේක නං කතාවක්ම නෙවෙයි.
මට වෙච්චි ඇබැද්දියක්.
වස නින්දාවයි.

සුදා මේ ලඟදි දවසක ජාතික කොඩියත් අතේ තියන් ඇවිත් මගෙන් අහපි ,
"මොකද සිංහයා කඩුවක් අතේ තියන් ඉන්නෙ? " කියල.
දැන් ඉතින් මොකද කරන්නේ?
මම කිව්ව, "අපි කාටවත් බය නෑ නෙ. ඒකයි" කියල.
කොල්ලට උත්තරේ ෂුවර්නුත් නෑ. තේරුණෙත් නැද්ද මන්ද.
පස්සෙ මම "අපි මහප්පා ආපුවාම එයාගෙන් අහමු" යි කියල ප්‍රශ්නෙ මඟ ඇරියා.

ඒත් මම කල්පනා කෙලේ..., සිංහයා කඩුව තියන් ඉන්නෙ බය නැති කමටද? ඇති කමටද කියලා..
මොකද හිතෙන්නෙ?
Posted by ස්වප්නා at 10:28 14 විවේචන
වර්ගීකරණය: රස කතාවක්

Friday, February 4, 2011

ආදරයෙන් ...

ආදරයෙන් අයියා වෙත,

අයියාත් පවුලේ හැමත් ඉතා හොඳ ශාරීරික සුවතාවයකින් යුතුව සිටිතැයි සිතමි.
පොඩ්ඩී ගැන අයියා උරණ වූ බව මම දනිමි. අයියා කියවාදෝ, නොකියවාදෝ සැකය නිසා මෙතුවක් කල් නොලීමි. කෙසේ වුවත් අයියාට නොලියා සිටිය නොහැකි තැනට කටයුතු යෙදී ඇති නිසා නොපමාව ලියන්නට සිතුවෙමි.

චූටි පුතා ගැන අක්කා දරුණු වෙනවා වැඩියි මා කියූ කියුම ඔබ දෙපලම කිසි දිනක නොපිළිගත්තෝය. පොඩි එකෙකුගේ හදවත ගැහෙන්නේ මෙලෙසැයි දැන්වත් ඔබට වටහා ගත හැකි වේ යැයි විස්වාසයෙන් මම ඔබට ලියමි.

චූටි අපෙන් වෙන් කල දිනයේ වැට අයිනට වී පැය ගණනක් එක දිගට හැඬූ හැටිත්, සති කිහිපයක් ඉක්ම යන තුරුත් සාංකාවෙන් අපේ ගේ දෙස බලා හිටි හැටිත් මතක් වී දැනුදු මගේ හද පෑරේ. අවුරුදු තුනක හුරුබුහුටි කොළු පැට්ටෙකුට, තමාගේ නැන්දාගේ ගෙදර පැත්ත පළාතේ නොයෑමට තර්ජනය කිරීම කොතරම් අමානුෂික දැයි ඔබට එදාද නොවැටහුණි.

චූටි පුතා අපේ පවුලේ එකෙකු වූයේ ඒකා උපන් දාමය. චූටි අප පවුලට සමීප වීම අක්කා කොයි හැටියෙන් වටහා ගත්තද; කුඩා දරුවෙකු දැඩි වූ බැඳීමකින් සිටියවුන්ගෙන් ඈත් කිරීම, දරුවාගේ මානසිකත්වයට කොතරම් භයානක බලපෑමක් එල්ල කරද්දැයි යන්න ඈ නොදැන සිටි වග මට එදා මෙන්ම අද ද ප්‍රත්‍යක්ෂ්‍යය.

අපට ඔබත්, ඔබට අපවත් පිළිකුල් වූ ඒ අභාග්‍යවන්ත සිදුවීම සිදු වී දැනට වසර 20ක් ඉක්ම ගොස් ඇතිය.
චූටි ඉන් මතු කිසි දිනෙක අපේ ගෙදර නාවාට, හිත තිබුණේ අප ලඟ බව මම හොඳින්ම දැන සිටියෙමි. වෙනසක් නොකර, මගේ දරු දෙදෙනාට ගෙන එන හැම දෙයක්ම වාගේ චූටිටත් ගෙන ආයේ එහෙයිනි. අක්කා පුතා දැඩි පාලනයකට යට කරනු දුටු අපි මුවින් නොබැණ, සිතින් හැඬීමු. ඈ පැතූ ලොව ඔහු ලවා ගොඩ නඟන්නට යාම විහිළුවක් කිරීමට චූටි තීරණය කලේ කවදා කෙසේදැයි මම නොදනිමි.

පුතා ඊයේ අප හමුවට ආවේය. ඕස්ට්‍රේලියාවේ උපාධියකට ඔහු සූදානම් වද්දී ඔබ සියල්ල සතුටු වන්නට ඇත. චූටි මෙහි කරන්නේ වැඩි හරියක් නාස්තිකාර වැඩයි කීවොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එය එසේය. චූටිට මෙහේ උපාධියකින් කම් නැත. අයියාට කරච්චල් කොට වාරයේ වියදම් ලෙස ගෙන්වාගත් මුදලින් යහළුවන් සමඟ පිස්සු නැටූ බව ඔහු ඊයේ මා හා කීවේ බීමතේමය.
මේවා අහන්නට තරං අපි කාලකණ්ණි උනා නේදැයි දැන් අයියා අක්කා සමඟ කියනු ඇත. ඕකා උස් මහත් කලේ කොච්චර දුක් විඳලාදැයි අක්කාද කියන බව මම දනිමි.

නමුත් මිනිස් සිත පුදුම සහගතය. ඔබට අනෙකෙකුගේ ප්‍රාර්ථනා පාලනය කල නොහැක. ඔබේ පැතුම් අනෙකෙකුගේ උර මතින් දකින්නට යාමෙන් ඔබ දෙපලම මහත් වූ වරදක් කර ගති.

චූටි තවමත් අපට ආදරේය. මම අපේ ගෙදර නවතින්නැයි ඔහුට අයැදීමි. චූටි මා බදා හැඬූ මුත්, නවතින්නට එකඟ නොවීය.
"මට තව ටිකක් නාස්ති වෙන්න ඕනේ. නැන්දාගේ ආදරෙන් මට නාස්ති වෙන්න බැරි වෙයි. එතකොට මට අපේ ගෙදර අයට රිද්දන්න හම්බ වෙන්නෙ නෑ"
මේ චූටිගේම වචනයි. තම දෙමාපියන්ගෙන් පළිගැනීමට චූටි යොදා ගත් මඟ අපූරුය.

මට පුතු ගැන කණගාටුය. අයියාත් අක්කාත් දරුවා තේරුම් නොගත් බැවින් මෙලෙස වූවා යයි දැන්වත් පිලිගනු ඇද්දැයි මට සැක සහිතය.

දරුවා ගොඩ ගැනීමට හැකි වෙර මම යොදන්නෙමි. චූටිගේ අධ්‍යාපනය කෙසේ වෙතත්, චූටි වැටී ඇති මානසික පරිහානියෙන් පිටතට ගැනීමට මම උත්සාහ කරන්නෙමි.

ඔබ දරුවාට දරුණු වූ තරමට දරුවා තවමත් ඔබට දරුණු වී නැත. මා පිය සෙනෙහස තර්ජනයක් නොව ආශිර්වාදයක් බවට පත් කර ගැනීමට තවමත් ඔබ ප්‍රමාද නැත.

මගේ වෑයමට ඔබ දෙපළ අසතුටු නොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මීට,
සදා ලැදි,
පොඩ්ඩී.
Posted by ස්වප්නා at 19:34 7 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

නිදහසේ සිතුවිල්ල


හැමදා වසරකට සැරයක් එකම දින
සමරමු අපේ අති උත්තර අරුම දින
රටේ සවිය පෙන්වන්නට නොහැකි තැන
වැඩක් ඇතිද ජය සැමරුම් කොතැන වුව

සාමය පතා යුද වැදි රටකට ඉපදී
වහලුන් වගේ වැඩ කෙරුවත් නැත සැනසී
හොර මැර මගඩි නඟනා තුරු ජය කෙහෙලී
බුද්ධිමතුන් හිඟද්දි හොරු රජ කරතී

සිංහල දෙමළ මුස්ලිම් වුව අපේ මොකෝ
සුදුස්සා සුදුසු තැන හිඳවන්ට ළමෝ
කොඩියේ සිංහයා හාමත් වී වේලී
මියැදෙනු වලකන්ට එතකොට හැකි වේවී
Posted by ස්වප්නා at 12:23 4 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Thursday, February 3, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න අද වචන විස්ස. කියවලා බලන්නකො.

461.) ඡේදය
462.) ආකෘතිය
463.) ස්ත්‍රිය
464.) පුරුෂයා
465.) දර්ශනීය
466.) ඥාතීන්
467.) අමු ද්‍රව්‍ය
468.) ලෞකික
469.) භෞතික
470.) ක්‍රෝධය
471.) පාෂාණ
472.) ගෞරවය
473.) යන්ත්‍ර සූත්‍ර
474.) ශ්‍රමය
475.) ධර්මය
476.) භාවිත කිරීම
477.) කිලෝ ග්‍රෑම්
478.) ප්‍රණීත
479.) දේවස්ථානය
480.) ප්‍රවේශ පත්‍ර


පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 21:19 7 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Wednesday, February 2, 2011

හිත ඇදිල්ල නවතගන්න

සුහද බව ලඟ
පිරුණු කම දෙන
නුඹේ සිනහව
දුකකි හද ලඟ

හිතේ ඇල්මට
කතා කෙරුමට
වහ වැටෙන්නට
හිතෙයි විටකට

ඇදී ඇලවෙන
හිතේ සෙනෙහස
නවත ගන්නට
වේය හනිකට

නොගැලපෙන බව
ඉක්මවන්නට
යන්න හිතුවට
පළක් වේවිද
Posted by ස්වප්නා at 19:58 15 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio