skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, July 31, 2011

දෝණීගෙන් ...


ජීවිතේ දුර ගමනකී
ඔබ සදා මා ළඟ උනී
පිපෙන්නට පෙති වෙර දරද්දී
හිරු කිරණ ලෙස ඔබ උනී

මතක කවුළුව විවර වී
නෙත'ඟ කඳුළක් සිර වුණී
දහක් කවි ලිව් මගේ පෑනින්
නුඹට කව් නොලිවුණු හැටී

හෙටක් වෙන්නට කල් නොදී
අදම මම පැදි අමුණමී
දුවක වී ඔබ ලඟ වැඩෙන්නට
බොහෝ පින් මම් කර ඇතී

ඔබේ පා මුල වැඳ වැටී
දුරස් වන දින ලඟ එතී
කපටි හොර ගෙඩි ඔබේ දෝණී
තාත්තා හැර යන හැටී ...
Posted by ස්වප්නා at 18:29 5 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Saturday, July 30, 2011

ඔබ HUB එකක්ද?


"Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.
මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා.

අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.
ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ).

මේ හැම පද්ධතියකම තියනව වැඩි "nodes" ගණනක් හා සම්බන්ධ වෙමින් ජාලයේ සුවිශේෂ තැනක් හිමි කරගත් නෝඩ්ස්. මේවාට අපි "HUBS" කියල කියනවා. ඔය රූප සටහනේ අඳුරු පැහැ කරල පෙන්නල තියෙන්නෙ "HUBS".

ඉතින් මේ හබ් එකකයි, අපේ මානව ජාල පද්ධතියෙයි ඇති සම්බන්ධය මොකක්ද?

මොනම ජාල් පද්ධතියක උනත් හබ්ස් තිබිය හැකියි. මානව ජාල පද්ධතියේ හබ්ස් ගොඩාක් ඉන්නවා. උදාහරණයක් විදිහට අපේ සර් කියපු විදිහටම "ප්‍රභාකරන් කියන්නෙත් හබ් එකක්"

දැන් තේරුණාද?
හබ් එකක් වටා ලොකු සෙනඟක් ඉන්නවා. හබ් එකක් වෙන්න ආස කරන මිනිස්සු ඉන්නවා.
හබ් එකක් අක්‍රිය වීම ඕනෑම ජාල පද්ධතියකට විශාල බලපෑමක් කරනවා. ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන්, නරක එකක් වෙන්නත් පුළුවන් අවස්ථාවේ හැටියට.

ඉතින් ඔබ හබ් එකක් නම් සතුටු වන්න ...

ඒ වගේම කල්පනාකාරී වන්න :)
Posted by ස්වප්නා at 18:55 8 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

Saturday, July 23, 2011

ඡන්දේ ...



අපි දෙන්නා දෙපක්ෂයේ
පාට දෙකේ , ජාති දෙකේ

කොහොම උනත් එදා වගේ
අදත් හෙටත් නොවෙනස්වේ
හැමදාමත් ඔයා මගේ
හිතේ ඇල්ම පුරා ගියේ

දිනුවත් පැරදුනත් රටේ
තාප්ප වල ඇලුණු කොලේ
අපි දෙන්නා දුන් ඡන්දේ
නෑ කිසි දා පැරදෙන්නේ
Posted by ස්වප්නා at 13:35 6 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මේ වචන කිහිපය හොඳට බලන්න. සමහරවිට ඔබ මෙයින් සමහරක් ලියන විදිහ වැරදි වෙන්න පුළුවන්.

671.) ඡන්දය
672.) ඝෝෂාව
673.) සමචතුරස්‍රය
674.) ග්‍රාමය
675.) කෛරාටික
676.) තෛලය
677.) ක්‍රෑර
678.) දිව්‍ය ලෝකය
679.) මාතෘ භූමිය
680.) වක්ත්‍රය
681.) ස්වර්ණමය
682.) උපස්ථාන
683.) අර්ථය
684.) ග්‍රන්ථය
685.) මුඛය
686.) මෘදු
687.) ලක්ෂ්‍යය
688.) චංචල
689.) නිශ්චල
690.) ව්‍යාජ

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 10:36 6 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Sunday, July 17, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

කාලයකට පස්සෙ ආයිත් මුණ ගැහෙමු :)
බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.

641.) විකාශනය
642.) පුස්තකාලය
643.) රැකියා ඇබෑර්තු
644.) අනාරක්ෂිත
645.) පාවිච්චිය
646.) ඝන්ටාර නාදය
647.) ප්‍රමුඛ
648.) සම්බන්ධය
649.) සාමූහික
650.) අඛණ්ඩ
651.) රිද්මයානුකූල
652.) මාංශ භක්ෂක
653.) හාස්‍යජනක
654.) සරණාගත
655.) කඳවුර
656.) සුරක්ෂිත
657.) ජාතිකාභිමානය
658.) සුවිශේෂ
659.) දේශගුණය
670.) ගෘහය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 18:14 8 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Saturday, July 9, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )

සුදාලගෙ ගෙදර හරියට මී කරදරේ කියල, සුදාගෙ අම්මා පූස් පැටියෙක් ගෙනත්.
ඉතින් ඊට පස්සෙ ඉඳන් අපේ සුදාට සෑහෙන වැඩ. සෑහෙන වැඩ කියන්නෙ ඉතින්.... මේ වෙනකොට පූසට සසර කළකිරිලා තමයි ඇත්තෙ. ඒකා නිදා ගත්තොත් ඇහැරවනවා. ඇහැරිලා හිටියොත් වඩාගෙන ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නවා. වත්තට දිව්වොත් අල්ලන් ඇවිත් ගෙට ගෙනත් දානවා. කොටින්ම පූසව රක්ෂිත බන්ධනාගාර ගත කරල වගේ තමයි.

කොහොමහරි මේක මේ, පූසාගෙන් මීයන් ඇල්ලීමට අමතරව කර ගන්න පුළුවන් වැඩක් ගැන සුදාගෙන් ආපු යෝජනාවක් !!
සුපුරුදු පරිදි යෝජනාව යොමු වෙලා තිබුණේ අපේ තාත්තට.

මේ දවස් වල තැඹිලි, පොල් කඩන මිනිස්සු හොයා ගන්න හරි අමාරුයිනේ. වත්තෙ තැඹිලි ගස් වල ගෙඩි, පොල් වෙනවා බලාගෙන ඉන්න බැරි කමට අපේ තාත්තා තැඹිලි කඩන මනුස්සයෙක් ගැන විස්තර සුදාලගෙ අම්මගෙන් අහල තිබුණා.
කොහොමහරි ඒ මනුස්සයවත් ඔන්න සම්බන්ධ කර ගන්න බැරි වුණා.
ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.

ඔන්න ඉතින් සුදාගෙ අම්මත් වැඩේ අත් ඇරලා දාල ගෙට ගිය වෙලාවෙ සුදා බ්‍රයිට් අයිඩියා එකක් ගෙනාවා.

"මාප්පෙ, අපි පූචගෙ බඩේ ලණුවක් බැඳලා තැඹිලි ගහට නග්ගමු."
"හ්ම්ම්ම්ම්..."
"අපිට තියෙන්නෙ පහළ ඉඳන් ලණුව අල්ලගෙන ඉන්න එක. මාප්පතයි මටයි ලණුව අල්ලගෙන ඉන්න පුළුවන්නෙ.. "
"හරි"
"හයියෙන් අල්ලගෙන ඉමූ. පූචා තැඹිලි කැපුවට පච්චෙ අපි හිමීට බාමු."
"හරි.. එතකොට කොහොමද පිහිය යවන්නෙ?"
"පිහිය යවන්න ඕනෙ නෑ අනේ. පූචා කටින් කපයි.."

කොහොමද අපේ සුදාගෙ මොළේ???
Posted by ස්වප්නා at 11:58 10 විවේචන
වර්ගීකරණය: රස කතාවක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio