skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, June 22, 2011

යෝජනාවට ප්‍රතිචාර !!!

සුදු හංසිගේ ශෝකාලාපයක් අහල ටයිප් කරන්න ගත්ත උත්තරේ දිග වැඩි වෙච්ච නිසා, ඔන්න ඔහේ බ්ලොග් පෝස්ට් එකක්ම කලා.

මේ මම හිතන/කරපු විදිහ: ;)

1.) තමන්ගේ හිතට කැපෙන කෙනා තමන්ට ලැබෙන කං නොසැලී ඉන්න. එහෙම කෙනෙක් හැමෝටම ඉන්නවා. මේ මටත් හම්බ උනේ යන්තන් හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න තියල :).

2.) හම්බ වෙන්න ඕනෙයි කියනවනං හම්බ වෙන්න. කතා කරල බලන්න. සමහර වෙලාවට අපිට එයා හොඳ වෙන්නත් පුළුවන්. කතා කලා කියල ඉතින් අතින් පයින් යන එකක්යැ. කතා කරල බලන්න.

3.) අම්මල තාත්තලා ගොඩ දානවට වඩා ලේසියෙන් හංසයින්ව ගොඩ දාන්න පුළුවන් :) අත්දුටුයි . ප්‍රත්‍යක්ෂයි :) යක්කු වගේ ගෑනුන්ට මිනිස්සු කැමති වෙන්නෙ නෑ :) හී හී. පස්සෙ හංසයම කියයි "ඒක හරියන්නෙ නෑ" කියල. ගොඩේ ගොඩ :) අපේ අම්මා මගේ උරුමක්කාරයා මේ ලඟකදි මුණ ගැහෙනකන්ම මම ඔහොම කරපු වැඩ මතක් කර කර බැන්නා :)

4.) මෝඩ වැඩ කරන්න එපා. කතා කලාට, ගමන් බිමන් යන්න එපා හැමදේම නිරවුල්ව ෆයිනලයිස් වෙනකං.

5.) අනික් එක ගෑණු ලමයෙක් උනාම හැමදාම පිස්සු කරන්නත් බෑ. ඔයාගෙ හිත ගන්න කෙනා මුණ ගැහිච්ච දවසටත් එයත් ඔයාගෙන් අම්මා කෙනෙකුගේ තැන්පත් කම දවසක බලාපොරොත්තු වෙයි. ඔයාම හිතල බලන්න, කවදහරි ඔයාව වගකීමකින් බාර ගන්න පුළුවන් කෙනෙකුටනෙ ඔයත් කැමති වෙන්නෙ. 100% පිස්සෙක්ට නෙවෙයිනෙ :)
චුට්ටක් පිස්සු තිබ්බාම ඇති :)

6.) ආයිමත් කියන්නෙ, ඔයා වයසින් ලොකු පොඩි කොහොම උනත් අම්මලා ගැලපෙනවයි කියල කියන අයත් එක්ක කතා කරල බලන්න. සමහරවිට ඒ හරි කෙනා වෙන්න පුළුවන්. ජීවිතේ සමහර දේවල් අපි හිතන්නෙ නැති විදිහට වෙන්නෙ. හිතන්නකො ඒ එක්කෙනෙක්වත් හරි ගියෙ නෑ කියල, මේ මට වගේ :) හැබැයි ඔයාගෙ හිතට කැපෙන කෙනා මුණ ගැහුණු දවසට ඔයා දන්නව, ඔයාට එයා කොච්චර වටිනවද කියල :) මේ මං වගේ :)
Posted by ස්වප්නා at 09:29 9 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

Tuesday, June 21, 2011

උණ විකාරෙන් ලියන කවි..

නිවාඩු පාඩුවේ ඉන්නට ඉඩක් ලදිම්
කණගාටුවට කාරණයට කුමක් කරම්
උණෙන් ගැහි ගැහී ඉන්නට වරම ලදින්
බ්ලොග් එක පැත්තෙ කලකට පසු එන්නෙ තුටින්

ආසනික් කතා රට වට පැතිරෙන්නේ
දැන් නං ඉතින් බත් කන්නත් බැරි වෙන්නේ
බත් මොකටදැයි මේ දැන් මට සිහි වන්නේ
හිත පිරුණාම බත නම් මොකටැයි මිතුරේ

කොහොම උනත් වස කතාවෙ අරුත් ඇතී
පොඩි පොඩි අතු බැඳී මහ ලොකු ගඟක් වෙතී
හොඳ හෝ නරක මේ වාගේ එකතු වෙවී
අපිත් එක්ක යන එන තැන එන්ට ගනී

දැන් නම් බැරිය ආයෙත් කැක්කුම් දෙන්නේ
මේ වගේ නිවාඩුත් මට මොකටද ලැබුණේ
හතුරෙකුටවත් මේ වන් දුක නොලැබෙන්නේ
අන්තිම පදේ කොහොමටවත් නෑ එන්නේ
Posted by ස්වප්නා at 17:49 3 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Thursday, June 16, 2011

මාමා...

මගේ මාමා ගැන මතකය සුවිසල් එකක් නොවේ. කුඩා කාලයේදී ඔහු හා බැඳුණු මතකයක් මට ඇත්තේම නැත. මාමා මට පළමු වරට හොඳින් මතක හිටියේ මගේ පුංචීගේ මඟුල් දාය. මාමා අපේ අම්මාගේ නැන්දාගේ පුතාය. එහෙයින් ඔහු මගේ අම්මාගේ ඇවැස්ස මස්සිනාය. කෙසේ වුවත් මේ අක්කා නඟෝලා දෙදෙනාම තම ඇවැස්ස මස්සිනාට බහ දීමට අකමැති වූහ. හේතුව මට නම් අදටත් හිනා යන එකකි. "නැන්දා සැරයි"... ඔය කතාව ගැන පුංචීගේ පැහැදිලි කිරීම කෙසේ වුවත් අපේ අම්මා කියන්නේ ගල් පැලෙන බොරුවක් බව මට හොඳටම විස්වාසය. තාත්තා හා ඉස්කෝල කාලේ සිටම ඇගේ යාළු මිත්‍ර කමක් තිබී තිබිණ. ඉතින් මාමා ගැන මොකට හිතන්නද...

අපේ අම්මලාගේ පරම්පරාවේ ඉහළටම උගත් මිනිසා මාමාය. විශ්ව විද්‍යාලයට සමත් වී ඉන්පසු පහසුවෙන්ම දිසාපති කමක් ලබා ගැනීමේ අවස්ථාව තිබියදී, ඔහු ගුරු වෘත්තියම තෝරා ගත්තේ දරුවන්ට ඉගැන්වීමට ඇති ආශාව නිසාම විය යුතුය.

පුංචීගේ මඟුල් දා මාමා පැමිණ සිටියේ ඇගේ බිරින්දෑත්, අඟුරු කැටයක් වන් කළු කෙලි පොඩ්ඩත් සමඟය. මාමා කළුය. උසය. උසට ගැලපෙන මහතය. සිනා වෙන විට සුදෝ සුදු දත් දිලිසේ. ඝන කළු රවුල මුහුණ පුරාය. එතරම් කළු මුහුණේ එතරම්ම සුන්දරත්වයක්, ප්‍රසන්න බවක්, සුහද ශීලීත්වයක් නිතොරම රැඳී තිබුණි.

"උඹට ඉතින් අපිව මතක් වෙන්නෙ අපිම ආරාධනාවක් කළොත් විතරයි" අම්මා රැව්වාය.
"නෑ ... මම කියන්නේ ඇත්තමයි.. හරියට වැඩ." ඔහු සිනා සෙමින් පිළිතුරු දෙයි.

මාමා සිය පත්වීම ලැබ ගියේ රජරටය. රජරට කුඩා පාසලක උප ගුරුවරයකු ලෙස සිය වෘත්තිය ආරම්භ කල ඔහු ඔය කියනා කාලය වන විට විදුහල්පති ධූරය දක්වා ඉහළ නැඟ තිබුණි. දෝණියන්දෑ තාත්තාට පණ ඇරලාය. "මෙයත් එක්ක මට මේ ළමයව හදා ගන්න බෑ. මම සැර කලොත් මෙයා නළවනවා. ඉල්ලන ඉල්ලන එක අරන් දෙනවා. මේ ලඟදි බයිසිකලයක් ඉල්ලලා අඬලා පොළොන්නරුව ටවුමට ගිහින් අරන් ආවෙ මෙයා"
මාමා සිනා සෙනු මිස කිසිත් නොදොඩයි.
එදා නම් මාමාව මට හොඳ හැටි මතක හිටිණ. දැනුදු ඒ රුව මට හිතින් මවා ගත හැක.

ඊලඟට අපට මාමා මුණ ගැසුණේ අපේ සීයාගේ මළගම දාය.
මාමා මිනියේ අවසන් කට්යුතු කරන දිනට පෙර දිනයක ඒ යැයි අපේ අම්මලා බලාපොරොත්තු වූහ. මාමා පැමිණියේ අවසන් දිනයේ දහවල් වීය.
"කතා කරන්න නරකයි" අක්කා නගෝලා කෝපයට පත් වී සිටියහ.
"මොනව කරන්නද බං. දාල එන්න බෑ. හොඳටම වැඩ"
මාමා හොඬටම දිරාපත් වී සිටියේය. කොටින්ම මම මාමා නොහැඳිනීමි.
කොණ්ඩය සුදු පාටය. රැවුල තඹ පාටය. පපුව පිටත ඇලෙන්නට ඔන්න මෙන්නය.
"මට ගැස්ට්‍රයිටිස්..."
"මේ මෙයත් උදේට කන්නෙ නෑ" අපේ අම්මාට ඉතින් මගේ වැරැද්දක් නං, තව මුකුත් ඕනෑ නැත.
"නරක කෑම පුරුදු එහෙම තියා ගන්න එපා දුව. පේනවනෙ. හොඳ කර ගන්න අමාරුයි. දැන් වෙද මහත්තයෙක් ගෙන් බේත් කරනවා.. දුව මොනවද කැමපස් එකේ කරන සබ්ජෙක්ට්ස්?"

එදා නතර වෙන්ටැයි කළ ඉල්ලීමද ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

"බෑ බං .. යන්න ඕනි.. "
"උඹට තණ්හාව වැඩි වෙලා. කුඹුරු කරලයි, මිරිස් වවලයි හම්බ කරන සල්ලි වලින් ජීවිතේ සැපකුත් විඳපන්"
මාමාගෙන් ඕවාට කවදත් උත්තර නැත.

ඊලඟට මාමා අප බලන්නට නාවේය.
අපි මාමා බැලීමට ගියෙමු.

නවලෝක රෝහලේ ඇඳක් මත ඔහුගේ දිරා පත් ශරීරය තබා තිබුණි.
හුස්ම ගන්නටත්, මුත්‍රා පිටවන්නටත් බට දමා තිබිණ. මට දුෂ්කර ක්‍රියා කළ බෝසතාණන් වහන්සේ මතක් විණි.
අපට හැඬුම් අයේය.
"මොකක්ද උඹ මේ කර ගත්තේ.."
"අඬන්නෙ නැතුව ඉඳහන්.." සිනා සෙන දසන් එදා මෙන් සුදුය.

"මෙයා ඕක දැනගෙන තියෙන්නෙ මීට අවුරුදු තුනකට කලින්. තනියම කොළඹ ඇවිත් චෙක් කර ගෙන. අපි කිසි කෙනෙක්ට කිව්වෙ නෑ. ගැස්ට්‍රික් කිය කිය වෙද මහත්තයෙක් ගෙන් මොනවද ගුලි බි බී හිටියා. මාව රුස්සන්නෙ නෑ. ළමයව රුස්සන්නෙ නෑ.. දැන් දරුවා තාත්තාට බයයි. තාත්තා ලඟට යන්නෙත් නෑ.."

ඔහු සූක්ෂම ලෙස සියල්ල ක්‍රියාවට නංවා තිබුණි.

"කොහොම කළත් මැරෙනව බං"

මාමා උපගුරුවරයකු ලෙස පත් වී ආ පාසල, ඔහු පළාතේ හොඳම පාසලක් බවට පත් කොට තිබිණි. ගොඩනැගිලි දෙක, සර්ව සම්පූර්ණ පාසලක් බවට පත් කිරීමේ ගෞරවය ඔහු සතුය.

තමා පිළිකා රෝගියකු බව දැනගත් වහා ඔහු සියළු ආදරණීයයන් තමන් වෙතින් ඈත් කර තිබිණ.
"වැඩි හරියක් ඉස්කෝලෙමයි.. ගෙදර එන්නෙ කන පොඩ්ඩට විතරයි"
පාසල කෙරෙහි කොහොමත් වූ වෙහෙසීම, ඔහු රෝගයෙන් ඇති පීඩා මැඬලීම සඳහාද ප්‍රයෝජනයට ගත්තා දැයි සැක සහිතය.
මිය යන්ට පෙර බොහෝ වැඩ කළ යුතුය. මිය යන්ට පළමු හැකි උපරිමය කළ යුතුය.

මාමා මිය ගිය දින, ඔහු මිය යන්නට පැය කිහිපයකට පෙර තාත්තා මාමා බලන්නට ගොස් තිබිණ.
"ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො බස් දෙකකින් ආව බං....... මම මැරෙයිද?"
තාත්තා ගෙදර විත් විස්තර කීවේ කඳුළු පිරි දෑසිනි.

ඔහුගේ ඇප උපස්ථානයට ගුරුවරු මාරුවෙන් මාරුවට සිටියහ.
රෝහල් ගාස්තු ගෙවා දැමුණේ රජරට දෙමාපියන් සිය කණ කර පවා උගසට තබා එකතු කර එවූ මුදලිනි. මාමාගේ මිනිය ගමට ගෙනා මුත්, මෙහි වළදමනවාට ඔවුහු අකමැති වූහ. සියළු වියදම් දරා ඔවුහු මාමා රජරටට රැගෙන ගියහ.

"මාමා අයිති එහෙටයි" මට සිතේ.

අවුරුදු ගණනාවකට පසු රජරට චාරිකාවේ යෙදුණු අපි, මාමා තැනූ පාසල අයිති පෙදෙසේ ගමන් කලෙමු.

"එන්න කිය කිය කියපු කාලෙ අපිට එන්න බැරි උනා"

අපි පාර අසාගෙන ඔහු තැනූ පාසල බලන්නට ගියෙමු.

අපි යන විටත් ඔහු වෙනුවෙන් තැනූ සොහොන් කොතේ කොනක මල් තබා ඉටිපන්දම් පත්තු කර තිබිණ. මාමාගේ විශාල ඡායාරූපයක් විදුහල්පති කාමරයේ තබා තිබුණි.

"ඌ අපිට එන්න කිව්වා.. අපි ආවෙ නෑ.." තාත්තාගේ හඬේ ගැබ් වී තිබුණේ ශෝකී රාවයකි.

"සෝමදාස කියල ප්‍රින්සිපල් කෙනෙක් හිටිය මචන්.. ඉස්කෝලයක් තනියම හැදුවා.. අදත් ළමයි ඉස්කෝලෙ යන්නේ මිනිහගෙ සොහොනට මල් තියලා"
තාත්තලාගේ පාසලට අලුතින් පැමිණි ගුරුවරයකු පවසා තිඹුණි.

මට එක්වරම දුයිෂෙන් මතක් වේ. දුයිෂෙන්ගේ කතාව බොරුවක් විය නොහැක.
අපේ මාමාද දුයිෂෙන් කෙනෙකි.
Posted by ස්වප්නා at 21:13 10 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

Friday, June 10, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

පහ වසරේ වචන නම් තාම සෑහෙන පමණ හුරු පුරුදු වචන නේද?
මේ එකක් වත් අමාරු වෙන්න නම් බෑ ....

621.) රේඛාව
622.) ශරීර ශක්තිය
623.) දළඹුවා
624.) යෝග්‍ය
625.) පෘතුගීසි
626.) විශ්වය
627.) ඡායාරූපය
628.) පරිවර්තනය
629.) පෞද්ගලික
630.) ඛනිජ තෙල්
631.) උෂ්ණත්වය
632.) දසන් පෙළ
633.) මනුෂ්‍යයා
634.) චන්ද්‍රයා
635.) දිය දහර
636.) සංචාරය
637.) පවිත්‍රතාව
638.) උද්‍යාන
639.) විශ්‍රාම ශාලාව
640.) මං සන්ධිය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:44 6 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Thursday, June 9, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

යන්තම් හුස්ම ටිකක් ගන්න ටීචර් ට වෙලාව හම්බ උනේ දැන් තමයි.
මතකනෙ , :) අපි දැන් පහ වසරේ..

601.) ශරීරාංග
602.) වාසස්ථාන
603.) කැලණිය
604.) වික්‍රමය
605.) කොම්පෝස්ට්
606.) මණ්ඩලය
607.) ශිෂ්‍යයා
608.) ගෞරවය
609.) ප්‍රාණය
610.) දෘඪ
611.) දුර්ගන්ධය
612.) කාර්යශූර
613.) ආරම්භය
614.) කළමනාකරු
615.) විරෝධය
616.) සම්පිණ්ඩිත
617.) මාතෘකාව
618.) ව්‍යර්ථ
619.) පංචාස්‍රය
620.) ද්‍රව්‍ය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 21:22 5 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Tuesday, June 7, 2011

මම වෙනම මලක් !!!


වේදිකා නාට්‍ය බලන්නට නං මං ආසාය.
ඒත් මම වෙනම මලක්, මම බලන්නට ගියේ මගේ ඕනෑ කමටම නොවේය. මූලිකම හේතුව නාට්‍ය නිෂ්පාදක නාලක ස්වර්ණතිලක මහතාගේ බිරින්දෑ මගේ කාර්යාලයීය මිතුරියක වීමය.
කොහොම උනත් නාට්‍යය බලා ඇවිත් මේ ලිපිය ලියන්නේ නං මගේ උවමනාවටමය.

මම වෙනම මලක් ඇත්තටම ලමා නාට්‍යයක්මය. මම එහෙම කියන්නේ නාලක මාධ්‍ය සාකච්ඡාවකදී එහෙම කියා තිබූ හින්දා නොවේය.
මම වෙනම මලක්, මල් වැනි දරුවන් ප්‍රයෝජනයට ගෙන වැඩිහිටියන්ගේ ප්‍රශ්න කතා නොකල නාට්‍යයක් හින්දාය. කතාව දරුවන්ගේ හැකියාවන් වලට මුල් තැන දීමය.
හැබැයි අම්මලාගේ සෙනෙහස, තීරණ දරුවන් ඉදිරියේදීත්, දරුවන්ගේ සෙනෙහස, තීරණ අම්මලා ඉදිරියේදීත් නැවෙන සැලෙන හැටි නාලක ඉතා හොඳට ප්‍රකාශ කරන්නට සමත් වී තිබුණේය.

කොහොම උනත් නාට්‍යය මැද හරියේදී නම් පොඩි කම්මැලි කමක් වගේ එකක් ආවේය. එසේ වුවත් අවසානය ලස්සනය.

අපි හැමෝම වෙන වෙනම මල්... ලෝකය ලස්සන වෙන්නේ එක එක ජාතියේ මල් පිපුණාම.. ඔන්න ඕක තමයි නාලක කියන්න හදන්නෙ.
කියන්නෙ කොහොමද කියල බලන්න, පැය දෙකක් වේදිකා නාට්‍යයකට කැප කිරීමට තරම් හිතේ හයියක් ඔබට තියෙන්නට ඕනෑය.

එහෙම එකක් තියේ නං රුපියල් 300,500 හෝ 1000 වියදං කර ගොහින්, මම වෙනම මලක් බැලුවාට අපතේ නං යන්නේ නැතිය.
Posted by ස්වප්නා at 12:35 2 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ▼  June (6)
      • යෝජනාවට ප්‍රතිචාර !!!
      • උණ විකාරෙන් ලියන කවි..
      • මාමා...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මම වෙනම මලක් !!!
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio