ටීක්..
මිනිත්තු කිහිපයක නිහැඬියාවකි.
ටීක්..
නැවතත් මිනිත්තු කිහිපයකට පසු
ටීක්..
මෙය මහා කන්දොස්කිරියාවකි. කන්තෝරුවේ වැඩ ගොඩ මැද හෙම්බත්ව සිටි මම දෑස් පියා යම් සහනයක් ගන්නට තැනුවා පමණි.
කන්තෝරුවේ සිටින, වැඩ පටලවා ගැනීමට ප්රසිද්ධ පියන් කෙනෙකු ලවා මට එදින වැඩ කිහිපයක්ම කරවා ගැනීමට සිදු විය. අපේක්ෂිත පරිදි, එක වැඩය දෙක තුන වූයෙන් මම කෝපයටත්, මහන්සියටත් පත් වීමි.
සද්දය එන්නේ ජංගම දුරකතනයෙන් වාගේය. ඔව්. එයම තමා.
"දැන් මේක අරගෙන කී දවසද.. "
කලින් සතියේ ඔරලෝසුව කැඩිණි. ෆෝන් එක නිසා වෙලාව බලා ගැනීමට දෙයක් නොමැති වීමේ අපහසුතාව මඟ හැරී යයි. දැන් ඒකත් ලෙඩ දෙන්නට පටන් ගෙනය.
කාර් එකේ ඔටෝ වයින්ඩින් ක්රියා විරහිතය. වීදුරුව ඇරිච්ච ගමන්ය. බාස් කෙනෙකුට පෙන්නන්නෙමැයි අකලංක කීවද ඔහුටත් ඉස්පාසුවක් නොමැතිය.
කරදර..
ටික් ටික් සද්දය ටිකින් ටික මගේ නුරුස්නා ස්වභාවය වැඩි කලේය. තදින් දෑස් පියා ගත් මම යළි ඇස් ඇරියේ අප රැගෙන ආ වාහනය ගේ අසල නැවැත්වූවාටත් පසුවය.
කන්තෝරු යාමටත් ඒමටත් බස් වල එල්ලී යාම මම නතර කලේ, පළමු වැටුප් වර්ධකය ලැබූ දා සිටය. මා බැඳුණු ප්රවාහන සේවය වැඩි අය කිරීමක්ද නොකලෙන් එය මට දරා ගත හැකි වියදමක්ද විය.
ගෙට ගොඩ වන විටම මගේ කොළු පැටියා දුව ආවේය. අපට මොන ප්රශ්න තිබුණද පොඩි එකාට ඒවා අදාල නැත.
මා ගෙදර එන විට අම්මාද ඉන්නේ කොළුවා මට බාර දීමට ඉවසිල්ලක් නොමැතිවය. දඟ කාරයකු වූ පුතු බලා ගැනීම ඇත්ත වශයෙන්ම අම්මාගේ වයසට අසීරු කරුණකි.
මම ඇඳුම් උනා තබා මුහුණ සෝදා උයමන පටන් ගනිමි.
මේ කොල්ලාගේ දැඟලිල්ලේ ඉවරයක් නැත. කුස්සියේ තබා ඇති කුඩා ලී පෙට්ටගම උඩ නැඟ බිමට පැනීම ඔහුට වීර ක්රියාවකි.
"එපා කිව්ව නේද මම දැන් සැරයක්?" මම ගොරවමි.
මේකාට ගණනක් නැත. "එපා !!"
තුන පහ ඉවර වී ඇත. තුන පහ බිඳක් නොදමා හොද්දක් කන්නේ කෙසේද?
මම තුන පහ හදන්නට කොත්තමල්ලි ටිකක් බැද්දෙමි.
"මම දැන් ආවොත් දෙනව දෙකක්.. තේරුණාද?"
මගේ බැනුම්ද සෙල්ලමට ගත් පුතු කොත්තමල්ලි බැද බැද ඉන්නා මගේ තට්ටම විකීය. ගවුම පසාරු කරගෙන වැදුණු දත් පහරින්, මට තරු විසි විණි.
නිරායාසයෙන්ම මගේ අතින්, හැරී දිව යන පුතුගේ පිටට පහරක් එල්ල විණි. මෙතුවක් වේලා තාච්චියේ දමා කොත්තමල්ලි කවළම් කළ හැන්ද අතේ රැඳී තිබිණි.
මගේ රන් පුතුගේ පිට රත් පැහැ ගැන්වී ඇත. මගේ ප්රාණය හඬන්නට ගත්තේය. දරුවාගේ පිට වතුරට අල්ලමින් මමද හඬන්නට වීමි.
"අකලංක ..." හඬනු මිස මට වචන නොයේ.
ගෙදර එන ගමනේ සිටි අකලංක විනාඩි 10ක් යන විට මා ලඟය.
"අනේ... " මම සිදු වූ සියල්ල කීමි.
"පුතා ලෑස්ති කරන්න." ඔහු දරුවා රැගෙන දොස්තර හමුවට ගියේය. මට යා නොහැකිය. මට වෙන කිසිවකුට තබා, මටමවත් මුහුණ දිය නොහැකිය.
පැයක් ඉක්ම ගියේ කල්පයක් ඉක්ම යන විලසිනි. අකලංකත් පුතුත් පැමිණියේ මට සිනා සෙමිනි.
"අම්මා හරි චණ්ඩියා නේද පුතේ?.. ඒ උනාට පොඩ්ඩට අඬනවා.. "
දරුවාගේ පිටෙන් අල්ලක පමණ පදාසයක් පිළිස්සුම් තුවාල වලට අලවන බෙහෙත් සැරහුම් වලින් වසා තිබිණි.
පුතු බදා හඬනු මිස, අන් කුමක් මම් කරම්ද?
"ඔහොම බේත් ටික දාන් ගියාම හරි යයි.."
අකලංකගේ දෙනෙත් සැමදා මෙන්ම අදත් ඒ ආදරයෙන්, කරුණාවෙන් බබළයි.
මගේ හිස අත ගෑ ඔහු, නාන්නට ගියේය.
නිවාඩුවක් දැමූ මම පසුදා ගෙදර නතර වීමි.
පසු දින වාහනයේ කන්තෝරු යන ගමනේදී, මට යාබද අසුනේ සිටි මිතුරිය, "මේ... ඔයාගෙ ෆෝන් එකේ සද්දෙ ගෙදරදිත් ආවද?" ඇසුවාය.
මට වූ හදි අස්සේ මට ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම මතකව තිබුණි. කෙසේ වුවත් ගෙදරදී මට අමුත්තක් නොදැනුණු බවද මට සිහි විය.
"ඒක තමයි අනේ.. හරි වැඩේ කියන්නෙ ගෙදරදි නං සද්දෙ තිබුණෙ නෑ තමා"
"ඒක මේ අපේ ඩ්රයිවර්ගෙ ෆෝන් එකෙන් ඇවිත් තියෙන්නෙ. ඔයා බැස්සට පස්සෙත් සද්දෙ එක දිගට තිබුණ. මට හිනත් එක්ක වෙච්ච වැඩේට"
මගේ හිස තෝන්තු වන සෙයක් මට දැනිණ. මම කිසිත් නොකියා හිස රඳවනයට වාරු වීමි.
Friday, January 21, 2011
Subscribe to:
Post Comments (Atom)
9 විවේචන:
අනේ පවු පොඩි එකා..... පොඩ්ඩන්ගෙ වැඩත් එක වෙලාවකට පුස්සු වගේ තමයි.... අන්තිමට කාගෙවත් ෆෝන් එකක් නිසා උන වැඩක්....
මේ කතාව එච්චර ලස්සන නෑ වගේ නේද? :(
හොඳයි..
ම්ම්ම් අනේ මන්දා :(
අනේ නගේ ඇත්තටම කොල්ලෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට මම නම් හරියටම රස වින්දා...
විබාගයක් කරන්නට පටන් ගත් කාලයේ ලොකු පුතා ඉතා කුඩාය...
පාඩම් කරන්නට ගත් සැණින් ඔහු ලඟට විත් පූසෙක් මෙන් කොල මිටිය මතම ඉඳ ගනී... එකල මගේ රැවුම් ගෙරවුම් මතක් වී මට කඳුලක් නැගිණි...
මොකෝ ලස්සන නැත්තෙ? එදිනෙද අපේ ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙන සිද්ධියක් ඔයා අපූරුවට ලියල තියනවනෙ,
@ තිස්ස දොඩන්ගොඩ : :) ඔව්.. පොඩි එවුන් එක්ක වැඩ කරන්න ගිහාම ටිකක් කපටි විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි පාඩම් කරනවා වගේ වැඩක් නං කපටි කමිනුත් කර ගන්න අමාරුයි.
@ Ravi: :) ස්තුතියි :) නෑ.. මට හිතුණා ලස්සන මදි කියලා. :( ඒකයි :)
අයියෝ,අසනීප උනානෙ.ඒකයි එන්න බැරි උනේ.
මොකෝ ලස්සන නැත්තෙ.ඔයාගෙ කතා සරලව රස විඳින්න පුළුවන්.මමනම් ඒකයි ගොඩක් කැමති.
හැබැයි ඔය වෙලාවට අකලංක වාගෙ හිතන අයනම් ටිකක් අඩු ප්රතිශතයක් තමා නේද ඉන්නෙ??
ඒක තමයි.. මමත් බැලුවා මොකොද දන්නෑ මේ පැත්තෙ නාවෙ කියල..
මන්දා.. හැබැයි අපේ තාත්තා හිටියෙ අම්මාගෙ පැත්තෙ.. ඒ කියන්නෙ අපේ තාත්තා හරි හොඳයි නෙ?
Post a Comment