"සියළු දේ නොරිස්සීමට හේතුව මටම හිතා ගත නොහැකිය. හැමදා ඔලුවට වැටෙන කුණු කන්දල් තොගය නිසා, ඒවා හිසේ පැත්තට ටික ටික ගොඩ ගැසීම නිසාද මට මේ හැටි ගෙදර මිනිසුන් ගැන අපුලක් දැනෙන්නේදැයි සිතේ.
ගිහි ජීවිතය මහා විකාරයකි. අන්තිමට ගහපු බෙරේකුත් නැත. බෙරේ පලුවකුත් නැත"
ඛේමා සිය දිනපොත වසා දැමුවාය. මීට පැයකට පමණ පෙර නිදන්නට ඇඳට ගිය ඇයට නින්ද නොආවේය. අවසන, දිනපොතේ කුරුටු ගෑමේ සිතිවිල්ල ආයෙන් ලියන මේසයට පැමිණියාය.
ඛේමා සුරූපී, දක්ෂ යුවතියක වූවාය. පිනෙහි කැමති, සැහැල්ලු දිවි පෙවෙතට බර ඇය වගකීම් නොරිස්සුවාය. වියපත් වෙන්න වෙන්න විවාහ වීමට දෙමව්පියන් කරන ඇවටිලිත්, නෑදෑ හිත මිතුරන්ගේ දහසක් ප්‍රශ්නත් ඇයට මහා හිස රදයක් විය.
"මේ ගෑණු ළමයගෙන් කිසි වැඩක් නෑ" ඇගේ මව නිතර කියූවකි.
"ගෙදර කියන්නෙ රෙදියි, වළනුයි" ඛේමා සමහර දිනෙක වියරුවෙන් මෙන් කෑ ගැසුවාය.
ඇගේ මේ විවාහ ජීවිතය පිළිබඳ අපුල ඇයටම විසඳා ගත නොහැකි අභිරහසක් විය.
ගිහි ජීවිතය ගැන මෙතරම් කළකිරීමක් කවදා කෙසේ සිතට ඇතුළු වීදැයි ඛේමාට මතක නැත.
මතක ඇති කාලයේ සිට ඇගේ දෙමාපියෝ රණ්ඩු සරුවල් කර ගැනීමෙහි අති දක්ෂයෝ වූහ. ඔවුන්ට මිල මුදලින් ඒ හැටි අඩු පාඩුවක් නොවුණද ගෙදර බොහෝ කටයුතු වලදී ඇගේ දෙමව්පියෝ මනා ලෙස එකිනෙකා කෙරෙහි හිත රිදවා ගැනීම් කර ගත් හ.
පියා සියල්ල දත් අති පණ්ඩිතයකු වූයෙන් ඔහු සමඟ කතා බහ කවදත් ඇයටත්, සොහොයුරියටත් අප්‍රසන්න විය.
මව කුකුල් කේන්ති කාරියක වූවාය. පොඩ්ඩ බැරිවූ තැන, යකා ආරූඪ කර ගැනීමෙහි දක්ෂ ඇය කෙරේද දැන් ඛේමා තුළ ඇත්තේ කළකිරීමකි.
නින්දට ගිය ඇය තීරණයක් ගත්තාය. මිතුරියක විසින් ඇයට හඳුන්වා දෙනු ලැබූ ආරාමය ඛේමාට සිහි විය.
"මම යනවා සතියකට.. නිවාඩු දාල තියෙන්නෙ" ඇගේ දැන්වීමෙන් ගෙදර සියල්ලෝ කලබලයට පත් වූහ. කෙසේ නමුදු සතියක් ආරාමයෙහි භාවනා කිරීමට අව්සන කැමැත්ත ලැබිණි.
ආරාමය නිහඬ නිසංසල සිතට සුව දෙන තැනක් විය. වන ගත පෙදෙසක් යැයි හැඟෙන තරමටම එය ගසින් වැලින් පෝෂිතය. කළු ගලින් හා වැල්ලෙන් නිමවූ සක්මන් මළු ඔස්සේ කුටි වලට යන මාර්ගය වැටී තිබුණි.
සුළු ආහාරයකින් යැපෙන සිව් වනක් පිරිසම එහි වූහ.
පිරිමින්ගේ ආශ්‍රමය දෙසට ගැහැණුන්ට යා නොහැකිය. කෙසේ වතුදු ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දීමටද, කමටහන් ලබා ගැනීමටද උපාසිකාවන්ට පොදු ධර්ම ශාලාවට යා හැකිය.
දහම් දෙසීමට එන එක් හිමි නමක් ඛේමාගේ සිත ඇද ගති. ඇගේ සිත තුළ පවතින කළකිරීම වටහා ගත් හිමියෝ ඇයට සුදුසු කමටහන් ලබා දුන්හ. ස්වාමීන් වහන්සේ ලබා දුන් අරමුණු කෙරෙහි වලට වඩා ඛේමාගේ සිත ඇදී ගියේ, උන්වහන්සේගේ ධර්ම කථිකත්වයටය. පැහැදිලිව දෙසන ගැඹුරු දහම් කරුණු තේරුම් ගැනීමට ඈ සමත් වූවාය. නමුත් එතුමන් කෙරෙහි ඇති වූ ඇල්ම ඉවත් කර ගැනීමට ඇයට නොහැකි විය.
පොරොන්දු සතිය අවසානයෙහි ඈ රැගෙන යාමට පැමිණි දෙමාපියන්ට හා සහෝදරියට සිදු වූයේ අකරතැබ්බයකි.
ඛේමා කුටියේ දොර නොහැර ඔවුන්ට ආපසු යාමට බල කළාය. කිසිවකුට ඇය නම්මා ගත නොහැකි විය.
මසක ඇවෑමෙන් ගෙදර ඇත්තෝ උත්සාහය අත් හළහ. ඛේමා දැන් මෙහෙණියකි. වසර දෙකක් මෙහෙණියකව රැඳීමෙන් අනතුරුව ඇයට උපසම්පදා භාවය ලබා ගත හැක.
එසේ වතුදු බලා පොරොත්තු වූ සුවය ලැබිණි දැයි ඇයට ප්රශ්නයකි.
"මේ ජීවිතය නිස්කලංකය. රෙදි සහ වළං මෙහි තව දුරටත් නොමැත. එහෙත් මම ප්‍රේමය කෙසේ දැයි නොදනිමි. රති සුවය කෙසේදැයි නොදනිමි. මා ආරාමයෙහි නතර වූයේ මා කෙරෙහි ඇල්මෙන්ද, වෙනකෙකු කෙරෙහි ඇල්මෙන්දැයි මට නොහැඟේ.
රෙදි සහ වළං වලින් යුක්ත වුවද, හොඳ සැමියකු හා දරු මල්ලන්ගෙන් පිරුණු විට ගිහි ජීවිතය තුළ මෙතරම් හුදකලාවක් නොදැනෙනු ඇත" මෙහෙණියෝ සිය දින පොතේ ලියූහ.
Saturday, January 15, 2011
Subscribe to:
Post Comments (Atom)
8 විවේචන:
අනේ මන්දා මේ ජීවිත එක එක වෙලාවට එක එක දෙවල් වල පස්සෙ යනව නේද? ගිහින් හති වැටිලා හැරිලා බලනකොට වෙන්න තියෙන හරිය වෙලා ඉවරයි. කවුරුත් ලැබෙන දෙයින් සැනසෙන්නේ නෑ නේ. අපිත් මෙහෙම්මම තමා
ඔව්. මටත් වෙලාවකට එහෙම හිතෙනවා.
ඔව් ඒකනම් ඇත්ත. අපිත් සමහර වෙලාවට අපේ ම ඕනෑ එපාකම් සපුරා ගන්න දුවන්නන් වාලේ දුවනවා. අන්තිමට අක්කා කියපු විදිහට වෙච්චි දේකුත් නෑ. කරපු දේකුත් නෑ. දහමට සිත යොමු කලාම අපට තියෙන ගොඩක් ප්‍රශ්න දුරු වෙලා යනවා.
ඛේම ටිකක් ආත්මාර්ථකාමීයි වාගෙ.හරි වෙලාවට සුදුසුම දේ නොවුනහම අන්තිමට ඇතිවෙන්නෙ කළකිරීම විතරයි.
මුහුණ දීම සහ පළායාම, ඛේමා කලේ මුහුණ දීමක්ද පළායාමක්ද?, ජීවිතෙන් පළායාමක්ය කියල අවසානයෙදි හිතුනට ඇය ජීවිතේට මුහුණ දුන්නානම්, ඒ කාලෙ පැවිදි නොවී මම කල අඥාන ක්‍රියාවක් කියල හිතන්නට හොඳටම ඉඩ තියෙනවා,
ඇත්තටම ජීවිතේ කියන්නෙ අපි කිසිම දවසක සෑහීමකට පත් නොවන දෙයක් නේද?
ලස්සනට ලියල තියෙනවා, ස්වප්නා,
මිනිස්සුන්ගේ හැටිනේ..... එක වෙලාවකට හිතෙනවා එහෙම නොකර මෙහෙම කළානම් හරි කියලා. ආයේ හිතෙනවා මෙහෙම නොකර එහෙම කළා නම් හරි කියලා. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනේ තාම. ඇති වීමක් නෑ
@ මධුරංග : හ්ම්ම්. නමුත් ඇත්තටම තමන් හිර වෙලා ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න එකත් වැදගත්
@ dinesh: අපි හැමෝම ආත්මාර්ථකාමී නේද?
@ Ravi: ස්තුතියි. ඔන්න ඔය දේම තමා මගෙත් අදහස. :) අපි නොලැබුණු හෝ නොකල දේ ගැන තැවෙනවා. ලැබුණු හෝ කල දේ ගැන අමතක කරනවා.
@ පූසා : හරියට හරි.
පලායාම විසඳුමක් වෙන්නෙ නෑ. අත්දැකිම් තමයි අවබෝධය සහ සැනසීම ගෙන එන්නෙ. පලායාම ලබාදෙන අවබෝධය නොකලට ඉදුණු ඵලයක් මෙන් ඊට උරුම ස්වභාවික රසයෙන් තොර වෙයි. පරිණාමය සඳහා සිදුවීම් හරහා පියමං කල යුතුයි.
Post a Comment