කාලයක සිට නින්ද නොයෑමේ තත්වයකින් පෙළුනෙමි. ඇඳුම් මසන්නට, කොට්ට උර වලට මල් මහන්නට ඇති පුරුද්ද නිසා, රෑ නිදි වරන්නේ කුමටදැයි අසූ විට, අම්මාට දෙන්නට පිළිතුරක් මා සතු විය.
එනමුදු, "ඔය හැටි නිදි මරං මහන්න ඔය ළමය රස්සාවට ඕක කරනවාද" යි ඇසූ විට මම නිරුත්තර වෙමි. "අනේ මන්ද අම්මේ, නින්ද යන්නෙ නෑ" යි කීමට මට සිත් නොදේ. ඒ, එම පිළිතුර ඇගේ නින්ද මීළඟට සොරා ගනු ඇති බැවිනි.
ඔහු මට හමු වුයේ මගේ පළමු පත්වීම ලද පාසලේදීය. අපි ඉතා කුළුපග මිතුරන් වීමු.
ඔහුගේ දෑස් තුළින් මා දකින මම පුදුමයට පත් වීමි. මා හා හිනැහෙන ඒ ඇස් දිදුළයි.
මුවින් නොදෙඩූ කතාවක් දෑසින් පවසන විට කෙතරම් සුන්දරද...
මම ඔහුට පෙම් බැඳීමි. කිසි දිනක නොබිනූ පෙම හිත තුළ දළු ලා වැඩෙන්නට වැඩෙන්නට මා තවත් අපහසුතාවයට පත් වීම පමණි සිදු වූයේ.
"මම ඔයාට දෙයක් කියන්න තියනවා"
"මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ"
"අපිට අද හවසට පොඩ්ඩක් මුණ ගැහෙන්න බැරිද?"
කියා ඇරඹී, "මම ඔයාට කැමති", "ආදරෙයි", "මට ඔයා ඕනෙ" කියන තුරු මම බලා හුනිමි.
කිසිදු දිනක ඔහු අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේය.
"මොන විකාරයක් ද" මිතුරියෝ කීහ. "මගේ එයා ගැන එහෙම අදහසක් නෑ.. එයා මට හොඳ යාළුවෙක් විතරයි"
මම හැඬීමි. "අවුරුදු 2 කටත් වැඩිය ඉතින් කැමති නං නාහ ඉන්නෙත් නෑනෙ" හිතවත් ගුරුවරු කීහ. "මගෙත් එක්ක එල්ලි එල්ලි ඔච්චර කියවන්න ආවෙ මොන කෙහෙල්මලකටද" .. පාන්දර දෙකට දෙමව්පියෝ මා පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගෙන ගියහ.
"ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා" මම කීමි. දොස්තරටද එය ඇත්තය.
"පපුවෙ මැද හරියෙන්ද රිදෙන්නෙ? පැත්තකින්ද?"
"උදේට කන්නෙ කීයටද?"
"දවල්ට?"
"රෑට?"
"ම්ම්ම්ම් බලන්නකො මේ කාල අතර තියන ගැප් එක"
"මුළු දවසෙම ටික ටික කන්න.. හොඳ වෙනකන්"
මම හිස වැනීමි.
සතියක් ලෙඩ නිවාඩු දමා ගෙදර නැවති මම යළි පාසලට ගියේ ඔහු නොදකිමී තිර අදිටනිනි.
"ඔයාට කොහොමද?"
"ලැජ්ජාවක් නැතිව කතා කරන්න එන හැටි" මට ඔහු රිදවන්ට බැරිය. නැවත හඬන්නටද බැරිය.
මාරු වීම් අවස්ථා ආ මොහොතේම මම වෙනත් පාසලක් ඉල්ලීමි.
අප වෙන් වන දිනය පැමිණියේය. මට එය මහත් ඇස්වැසිල්ලකි.
මින්පසු මට ඔහු නොපෙනේ. මුණ නොගැසේ. කොපමණ හොඳද? දුටු විට ඇති වන ලතැවිල්ල, නොදුටු කල කල් යත්ම පහව යනු ඇත.
අප වෙන්වී දැනට වසර පහකි.
"මෙයාට දැන් මම පරස්තා හොයන එක නවත්තල තියෙන්නෙ. බඳිනව නං බැඳපුදෙන්, නැත්තන් ඔහෙ හිටියාවෙ" අම්මා ඇගේ උත්සාහය අතහැර දැම්මේ යෝජිත තරුණයින් දහ පහලොස් දෙනෙකුන් පමණ සමඟම මගේ සාම කතා අසාර්ථක වූවාට පසුවය.
පාසල් නිවාඩු කාලය හමාර වීමට ආසන්නය. නව වසරේ, නව ගුරු මාරු සමඟ ඔහුගේ නමද අපේ පාසලේ ලැයිස්තුවට ඇතුළත්ය.
මට හැඬුම් ඒ. ඔහුද තවමත් අවිවාහක බව මම දනිමි.
"ආයි එයාට මාව නටවන්න දෙන්නෙ නෑ මම.. හහ්"
"අනේ.. මාව ආයි අසරණ කරන්න එපා.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.."
"එයා එයාගෙ ආදරේ අඳුරගෙන ඇත්තෙ දැන් නං.."
".........."
"මට ඔයාට දෙයක් කියන්න තියනවායි කියයිද? ..."
Saturday, January 1, 2011
Subscribe to:
Post Comments (Atom)
14 විවේචන:
ඔන්න අලුත් අවුරුද්දෙ ඉස්සරවෙලාම කියෙව්වෙ ඔයාගෙ බ්ලොගය. ලස්සන කතාවක්,
හික්.....හැමදාම බුවා "මට ඔයාට දෙයක් කියන්න තියනවා....."කිය,කියා විතරක් ඉඳියිද දන්නෙ නෑ.
හම්.. ඉතුරු ටික කෝ??
@dinesh: නෑ නෑ.. එයා එහෙමවත් කියන්නෙ නෑ. මම හිතුවෙ එහෙමයි. අනේ ඕගොල්ලන්ට එහෙම තේරුණේ නැතිද? :( ලිවීමේ දුර්වලතාවයක් එහෙනං :( කොහොම නමුත් ස්තුතියි අදහස් වලට :)
@Kanishka: ඉතුරු ටික ඔයා හිතා ගන්න... මොනා වෙයි කියලද හිතෙන්නෙ?
"මම ඔයාට දෙයක් කියන්න තියනවා" කියලා කියාවි .... හැබැයි එදාටනම් හිතේ තියන දේත් කියාවි.... (මට හිතුනේ එහෙමයි...)
ම්.........එහෙම හිතන්නත් පුලුවන් තමා.....ඇයි මට එහෙම හිතුනෙ නැත්තෙ....???
@පොඩ්ඩ මල්ලි: ස්තුතියි, කතාව කියවලා තවත් චුට්ටක් හිතුවට :)
@dinesh: ම්ම්ම් :)
කදිමයි...
ඇත්තටම අපූරුයි..!!
අනේ මන්දා ඉතින් මේ වගේ කතා නම් මම ත් ගොඩක් අහලා තියෙනවා. මේක සුබදායි විදියට ඉවර වෙයි කියලා හිතනවා. මොකද එයා මාරුවීමක් අරගෙන ආයේ එන්න හදන්නේ ඔයා ඉන්න තැනටමනේ....!!!!
@Contact me: http://sonduru-sihina.blogspot.com/2010/12/blog-post_29.html :)
@charmi: ස්තුතියි :)
@සංජු : ම්ම්ම්ම් මටත් හරියටම හිතා ගන්න බෑ.... :) විස්වාසයක් නෑ නේද ඔහොම අය?
some people realise that they miss things when the things are out of reach. hope this story ends in the same way! :)
අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියලා කතාවක් තියෙනවනෙ. මොනවා උණත් ටිකක් බලන්න. නමුත් හොද සිහියෙන් සහ ගොඩම ගොඩම ගොඩක් කල්පනාවෙන් සහ පරෙස්සමින්.
@malithi: Yes. But anything could be possible. Thats why I kept it open ended.. So that it would be more interesting I guess :)
@සංජු : කලා නිර්මාණයක් කියන්නෙ, සත්‍යයත් කල්පිතයත් අතර මැද තියන එකක් කියල කවුද මන්ද කියල තියනවයි කියල මම පොතක කියෙව්වා. මේකත් එහෙම එකක්. ඔයාගෙ අදහස් වලින් එක දෙයක් පැහැදිලියි.. ඔයාට හරිම ලස්සන සංවේදී හිතක් තියනවා. . ස්තුතියි.
එයත් සමහරවිට ඔයා ගැන ඔය විදිහටම හිතනව වෙන්ඩ බැරිද?, මට හිතෙන්නෙ නම් එහෙම,සාමාන්‍ය ක්‍රමේ නොවුනට එහෙම කට්ටියත් ඉන්නවනෙ,
:) ඕගොල්ලන්ටත් හිතෙන දේවල් :D
කොහොම උනත් අදහස් ප්‍රකාශ කලාට ස්තුතියි :)
Post a Comment