ඈ තවමත් කර බාගෙනය. මැහුම ඉවර කර මා සමඟ කතාවට එන පාටක් නැත.
විවාහයෙන් වසර විසි පහක් ඉක්ම ගිය පසුත්, අත්දැකීම් විරහිත යුවළක් සේ නිතර අප බැණ අඬ ගසා ගන්නේ කුමටදැයි මම තනිවම සිතීමි.
නමුත් කිසි දිනක එයට පැහැදිලි හේතුවක් සොයා ගැනීමට මම අපොහොසත් වීමි.
මම බොහෝ විට යම් යම් සුළු සුළු දේ අතපසු කරන්නෙක් වීමි. ගත් දේ ගත් තැනින් නොව වෙන තැනකින් තියන නිසා මා බොහෝ විට ඈ කෝප ගන්වා ඇත.
හැමදේකටම ඈ මෙතරම් කෝප ගන්නේ මන්දැයි මම තනිවම සිතුවෙමි.
කුඩා කළ ඈ මියුරු නදින් වයලීන වාදනය කලා යයි මම අසා ඇත්තෙමි. නමුත් කිසි දිනක ඈ මා ඉදිරිපිට නොවැයුවාය.
මියුරු හඬින් ගී ගයන්නට ඇයට හැකි යයි ඇගේ මිතුරියෝ කීහ.
"මට සින්ග් කරන්න බෑ.. ඒ බොරු කතා" ඇගේ පිළිතුර එතැනින් නවතී.
මා ඈ විවා පත් කර ගැනීමට සූදානම් ව සිටි අවධියේ ඈ මහත් රුචියකින් පොත් පත් කියවීමෙහිද, නිර්මාණකරණයෙහිද යෙදුණා මට මතකය. ඈ ලියූ ගී කව් කියැවූ මම "ඔයාට හොඳට ලියන්න පුළුවන්.. අපි සී.ඩී. එකක් කරමු" යි පැවසීමි. මා එය කියූවේ විහිළුවකටම මිස, අවංකවම ඒ පිළිබඳව සිතූ නිස නොවේ.
ඈ මහත් සතුටින් ඉල්පුණා මට මතකය. "ඔව්. ඒක මගේ හීනයක්.." එදා ඇගේ දෑස පුරා විහිදුණු කාන්තිය මම මංගල දිනයේදීවත් නොදිටීමි. නමුත් මට එය විහිළුවක්ම විය. ඈ දෙස බලා හඬ නඟමින් හිනැහුණු මම, "පිස්සු හැදීගෙන එනවද? ඔයා නැතිවට ඕනෙ තරන් මිනිස්සු ඉන්නව ඒව කරන්න. බහු බූත ඕනෙ නෑ" කියමින් තනි ඉරෙන් ඇගේ පැතුම කපා හැරියෙමි. කිහිප වතාවක් ඈ කළ පෙරැත්තය මට නතර කර ගැනීමට හැකි වූයේ දීර්ඝ ලෙස අවවාද කිරීමෙන් අනතුරුවය.
"මට ඕනෑ මම ගෙදර එනකොට තේ එක හදල දෙන, පුංචි සුරංගනාවියක්.. අපි දෙන්නගෙ ලෝකෙ අපි දෙන්න විතරයි වෙන කවුරුත් නෑ.." මම සිහිනයේ අතරමං වීමි. ඈ ගල් ගැසී මිලින දෑසින් බලා හුන්නා මතකය.
"විකාර.. කසාද බැන්දම ඔය පිස්සු ඔක්කොම හොඳ වෙයි" මම තනිවම සිතීමි.
අද ඒ සියුම් කත අහළකුදු නැත.
"කෝ බලන්න, ලිව්වෙ නැද්ද කවියක්" මම විවාහයෙන් වසරකට පමණ පසු ඇසීමි. ඈ සිනාසුණා පමණය.
ඈ මගේ සුරංගනාවම වූවාය. දරුවන්ගේ වැඩ කටයුතුද මගේ වැඩ කටයුතුද හැමදේම ඈ නොපිරිහෙලා ඉටු කරන්නීය.
එකම දෙය ඈ අප කෙරෙහි බල පවත්වන්නා වූ දැඩි භාවයය. චූටි දූ නැටුම් උගැනීමට ආසාය කිවූ විට ඈ එය දරුණු ලෙස ප්‍රතික්ෂේප කළාය. මා වුවද ඇගෙන් නොඅසා කිසිවක් කිරීමට මැලි වීමි. ඈ මා කිවූ දෙයකට පිටින් නොගියා මෙන්ම, මා ගැනද දැඩි පැවතුම් ඇත්තියක වූවාය.
ඇය රැකියාවෙන් අස් වූයේ මගේ කැමත්තට මිස ඇගේ කැමැත්තට නොවේ. "මගේ වයිෆ්ව මට වැඩට යවන්න බෑ" මම තරයේ කීමි.
ඇගේ දෙමාපියන් සතු මැණික වූයේ ඇයම පමණක් බැවින්, ඔවුන්ගේ බසට ඈ කිසි දිනෙක පිටු නොපායි.
අපි යෝජිත විවාහයකින් පෙම්වතුන් වූයෙමු. දැන් මගේ සිහින සියල්ල මම සාක්ෂාත් කර සිටිමි.
සියුමැලි සිතැත්තියකව සිටි ඇය, මෙතරම් සැප පහසුවට ඉන්නට හිටින්නට ඉඩ සලසා දී තිබියදීත් මෙතරම් රළු වන්නේ කෙලෙසදැයි මට දැනුදු නොතේරේ.
"මැහුම ලස්සනයි" බැරිම තැන මම කියමි.
"මට පෙන්නන්න බෑ මේ මැහුම්.. වෙන වැඩක් නැති නිසා කරනව" ඈ ගොරවමින් පිළිතුරු දෙයි.
මම කෝපයෙන් ඇය දෙස බලමි. "මේ ගෑනිට මොන යකා ගහලද"
මට නොතේරේ.
Saturday, December 25, 2010
Subscribe to:
Post Comments (Atom)
10 විවේචන:
සරල සත්‍යයක්...ලස්සනයි...
කළු කුමාරයා හරි ඔඩ්ඩේ මස්සිනා හරි වැහිලාවෙන්න බැරිද? ඒත් කළු කුමාරයා බලන වයස පැනලා නේද? මම නං හිතන්නේ අතන තමා අප්සෙට් උනේ. CD එකක් කරමු කියලා බොරු පොරොන්දු දුන්න එක. ඒක හිතට තදින්ම කා වැදිලා. ඕක මානසික ව්යා කූල තාවයක්. මෝහන ප්රකථිකාර වලින් ඔය ලෙඩේ සනීප කරන්න පුළුවන්. රජයේ පිළිගත් මානසික වෛද්යාවරයෙකුට ඔයාගේ බිරිදව යොමු කලොත් ඔය ප්රශ්ණය නිරවුල් කර ගන්න පුළුවන්. එතනදි වෛද්යනවරයා කරන්නේ මෝහනය මගින් එම චෛතිසිකයන් හටගත් තැනට ගොස් එම චෛතිසිකයන් මනසින් ඉවත් කිරීමට අන කිරීමයි.
ඔය කථාවේ කථානායකයාට මෙන්ම වෙනත් අයටත් ප්රෙනයා්ජනවත් සෞඛ්ය ගැටළු ගැන දැන ගන්න මෙතනටත් ගිහින් බලන්න.
http://wedananasala.org/sinhala/
ටීචගෙ නිර්මාණශීලී හැකියාවනම් උපරිමයි . :D පුංචි කතාව ගොඩක් ලස්සනයි.
ජීවිතයේ ගෙවුන විසි පස් වසර
සුන්දරයි අප එක්ව ගෙවු කල
නුඹට කදුළක් නොසිතා මම ලන් කලාට
සමාවෙන්න මම නුඹට ආදරෙයි හැමදාම..
@ ජංජාල චාමර: ස්තුතියි :)
@ ගීත්: ඔයා ඔයාගේ රෝගී තත්වයන් හඳුනා ගන්නෙ එතැනින්ද? :P
කෙනෙක්ගෙ ආසාවක් ඔයාට මානසික ව්‍යාකූලතාවයක් වගේද පේන්නෙ? අනේ අනේ ...
@ dinesh: ස්තුතියි :)
@ Dinesh: ලස්සනයි. ඇත්තටම මේ මනුස්සයට වෙලා තියෙන්නෙ ඒක තමයි. එයා බිරිඳට ආදරෙයි. නමුත් ජීවිතේට ආදරේ විතරක්ම මදි වෙන අවස්ථාත් තියනවා. එකිනෙකා තේරුම් ගැනීම ඉතා වැදගත්. ඒ වගේම එකිනෙකා කෙරෙහි සහනශීලී වීමත් ඉතා වැදගත්. එහෙම නොවුණාම එකතු කර ගත් කළකිරීම, පසුව කෝපයකටත්, ඊටත් පස්සෙ අර ගීත් කිව්වා වගේ මානසික ව්‍යාකූලතාවයක් දක්වා උනත් දිග් ගැස්සෙන්න පුළුවන්. ඔයා හරියටම මගේ නිර්මාණය තේරුම් අරන් තියනවා. ඔයාගේ කවියෙන් ඒක මට වැටහෙනවා. ආදරේ කියන්නෙ බැඳලා ගැට ගහන දෙයක් වෙන්න බෑ. සිතුම් පැතුම් ගැලපීම විවාහයකදී අත්‍යවශ්‍යයි. නැත්තං ඉතින් පස්සෙ පිස්සු තමයි :)
බිරිඳගෙන් ස්වාමියාට,
සැබෑ වූ
සිහින මැද
ඔබ සැරිසරයි
ප්‍රීතියෙන්..
නමුදු...
දුටුව එකම එක හීනයත්
අහිමි ව
කෙලෙස නම් මා සැනසෙම්ද
පිය හිමියනි
මමත් පෘතග්ජනයෙකි....
වෙන වැඩක් නැති නිසා තමයි මිනිස්සු මේ හැමදේම කරනව ඇත්තෙ.
නියමයි...
ස්තුතියි ජනනි නිර්මාණය ඔපවත් කලාට ..
@ outsider: :) ස්තුතියි :)
ලස්සනයි, හිතක් ගල් වෙන්න පටන් ගන්නෙ කොහොමද කියල අපූරුවට ලියල තියෙනවා,
ස්තුතියි අගය කිරීමට :)
Post a Comment