Thursday, September 2, 2010
දිනුම් පැරදුම්
අපි ඔවුන් බැලීමට ගියෙමු. ඔහු නිවැරදිය. ඒ අවුරුදු 7 කට පමණ පසු විය යුතුය. අප අවසන් වරට පැමිණි
කාලයද ඔහුට හරි හැටි මතක ඇති සේය.
මගේ දෙමවුපියන් කොළඹ වුවත්, මගේ ගම රජ රටය. ඒ මා ඔවුන් දුෂ්කර සේවයේ යෙදී සිටියදී ලැබූ දරුවා වූ බැවිනි.
රජරට වැව් දිය පිස ගෙන එන සුළඟත්, දූවිලි වැකි උණුසුම් මාරුතයටත් මම එක සේ පෙම් කරන්නේ, රජරට ජීවියෙකුගේ ආත්මයක් ලද්දෙක් නිසාවනැයි දැනටත් සිතමි.
දුෂ්කර සේවය හමාර කොට නැවත කොළඹ පැමිණි පසුත්, වසරක් පාසාම රජරට යන්නට මගේ දෙමව්පියන් පෙළඹවූයේ, එහි මිනිසුන්ගේ ගැහෙන උණුසුම් හදවත්ය.
අපට එහි මිතුරන් බොහෝ දෙනෙක් වූ නිසා, ඒකනායක ගෙදරට යන විට කළුවර වැටෙන්නට ඔන්න මෙන්නය.
"අපෙ අප්පේ... අන්කල්" ඔහු වෙනදා මෙන්ම සුපුරුදු සෙනෙහසින් තාත්තා පිළිගනු මට ඇසිණි. ඔහු මට වඩා වසර 2ක් වැඩිමහල් වූ බැවිනුත්, ඔහුගේ අනික් මල්ලිලාට පෙර මා ඔහුට නැඟනිය වූ බැවිනුත් ඔහුත් මාත් අතර වූයේ ඉතා කුළුපග සහෝදර බැඳීමකි. කුඩා කල අයියා මා නැළවූ හැටි, මා බලාගත් හැටි ඒකනායක ඇන්ටී කියන්නේ හද පිරි සතුටිනි.
මගේ රන් කිරි කට ගෑවේද ඈ ලු. තමාගේ මුද්ද කිරෙහි දමා උරච්චි කොට, බිළිඳියගේ දෙතොලේ තැබූ අයුරු කියා ඈ මා ආදරයෙන් වැළඳ ගනී.
කොතරම් බැඳිමක් තිබුණද ඒකනායක අන්කල් මිය ගිය වේලේ අපට යන්නට බැරි විය. ඔහු මිය ගිය බව අපට ආරන්චි වූයේ දින ගණනක් පසු වීය. තුන් මාසේ දානයට යමුයි සිතා සිටි අප අවසන ගියේ මාස ගණනකට පසුය. ඒ යන විට ගෙදර කිසිවකු නොසිටි බැවින් අපි කණගාටුවෙන් හැරී ආමු.
"උඹ නිසා අපිට යාළු කමුත් නැති උනා" අම්මා මට චෝදනා කල වාර ඇත. අයියා මට අයියා කෙනෙකුට වඩා ආදරේ බව මට දැණුනු විට මම ඔහු කිරා බැලීමි. අප කොපමණ යාළු වුවත්, ඔහුගේ ජීවන රටාවත් මගේ ජීවන රටාවත් වෙනස්ය.
මම ටික කලකින් උපාධිධාරියකු වන්නෙමි. ඔහු නිකන්ම නිකං උ.පෙළ සමත් පමණි. තව බොහෝ වෙනස් කම් ඇත. ඔහු අප නිවසට පැමිණි විට මම ඔහු මඟ හැරින්නටත්, අඩුවෙන් කතාකිරීමටත් පුරුදු වීමි. සමහර දවසක මම එළියට නොපැමිණියෙමි.
අම්මා මා සමඟ තදින් කෝප වූවා මට මතකය. "නොකෙරෙන කෙහෙල්මල් වලට හෝප්ස් දෙන්න මම කැමති නෑ". පසුව ඒකනායක ඇන්ටීද අම්මා සමඟ දුරකථන කතා බහ අඩු කෙරිණි.
මම නිවසට ගොඩ වූයේ චකිතයෙනි. ඔහුද මා සමඟ කතා නොකලේය. " දැන් ඉස්සර වගේ දෙකක් වෙලා" මම කතාව ඇරඹීමි. අයියා සිනාසුණේය.
මම දෙවන වර තිගැස්මට ලක් වූයේ ඔහුගේ බිරිඳ දැකීමෙනි. අයියා විවා පත් බව මම දැන සිටියෙමි. නමුත් ඇගේ බාහිර ස්වරූපය මා වැනිම බව මම නොදැන සිටියෙමි.
"අපිට දැන් චූටියෙක් ඉන්නවා". පෙර මා දෙස බලා දිලිසුණු දෑස් දැන් දිලිසෙන්නේ දරුවා ගැනය. ඔහු දැන් පියෙකි. ඔහු කෙරෙන් මා වෙත ඇත්තේ හිස් හැඟීමකි. මම කවුද ....
අයියා කාමරයට ගොස්, හුරුබුහුටි, පුෂ්ටිමත්, පියකරු, සුරතල් බිළිඳියක වඩාගෙනවුත් අම්මාගේ අතේ තැබුවේය.
නොබෝ වෙලාවකින් ඇය මා හා මිතුරු වූවාය. මම දැරිය අතට ගත්තෙමි.
"දැන් නංගි කොහෙද වැඩ කරන්නෙ?" මම කෙටි පිළිතුරක් දිනිමි.
"කොහේ හිටියත් ඉතින් ඉංජිනේරුවෙක් වෙන්න ඇති" ඔහු සැමදා මා අගය කළේය. සුදු, ලස්සන, දක්ෂ, ........ හිතුවක්කාර යැයි කියා මට බැණ්නේත් මා ඉන් තවත් ඉදිමෙන ආකාරයෙන් මිස, මගේ සිත තැලෙන අයුරින් නොවේ.
අපි ඔන්චිලි පැද්දෙමු. සියඹලා කැඩුවෙමු. ඔහු කවදත් මගේ ඉල්ලීමක් වීසි නොකරයි.
කාඩ් සෙල්ලම් කලෙමු. දාම් ඇදීමු. මා රණ්ඩු කෙක්කය. ඔහු සැමවිට මා අවුස්සා සිනාසෙයි.
"කොළඹට කිරි, අපිට කැකිරි" පාසල් වියේ ඔහු නිතර කියූවකි.
"කෙහෙල්මල, කොළඹ කිරි වලට වඩා රජරට කැකිරි හොඳයි" මට සිතේ.
"නංගි බැඳලද?"
"තාම හොයනව" මම මගේ සුපුරුදු කැත්තෙන් පොල්ලෙන් වචන වලින් සහ අසංවර සිනහවෙන් පිළිතුරු දිනිමි.
කොහොමටත් මේ පොදු පැනයට පිළිතුරු සැපයීම මඟ හැරීමට මා සැමදා දක්ෂය. මුඛරි කමින් මොනවා හෝ කියා, අනෙකා සිනහ ගන්වා මම ප්‍රශ්නයෙන් පැන යමි.
මාත් ඔහුත් අතර වචන දහයකට පහළොවකට වඩා කතාවක් සිදු නොවිණි. මගේ අවධානය නිරතුරු රැඳී තිබුණේ, මගේ අතේ හුන් ඔහුගේ දියණිය කෙරෙහිය. ඈ එතරම්ම ලස්සන බිළිඳියක් වූවාය.
අයියාගේ බිරිඳ පියකරුය. සුන්දරය. ඒ ඈ මා මෙන් නපුරියක නොවූ බැවිනැයි මට සිතේ.
රජරටට යන ගමනේදී "ඔයා තනියෙන්" කියා මා කොනිති ගැන්වූ මගේ සිත, රජරටින් එන ගමනේදී "අයියා ඔයාට හිනා වෙනවා ඇති" කියා හොල්මන් කරන්නට විය.
"නෑ. අයියා මට හිනා වෙන්නෙ නෑ. එයා මට ආදරෙයි" මම තදින් කියා සිටියෙමි.
Subscribe to:
Post Comments (Atom)
12 විවේචන:
ෂහ් ලස්සනම ලස්සනම කථාවක්... මා කියවා ඇති ස්වල්ප වුවත් කදිමම කෙටි කථා ගොන්නට එකතු කරමි... පුවත් පතකට යැවුවා නම් හොඳය යන්නද හිතේ... ඒ තරම් අව්‍යාජ හැඟීම්ය... ඇත්තක්ද කියා හිතෙන තරම්යය... ඔබට කදිම ප්‍රතිභාවක් ඇත කියාද මට සිතේ... ඒ මා කැමති ආරයට ඔබ ලියන නිසා වන්නටද පුලුවන...
ලස්සන කතාවක්.....:)
ස්තුතියි :)
ඇත්ත කතාවක්ද?
හ්ම්ම්
හිත ඇතුලෙ තමුන්ට වෙදනාවක් දෙන හැගීමක් තියනවා නම් එක වැඩි කල් තියා ගන්න එපා, මෙතනට දාලා අපිත් එක්ක බෙදාගන්න, අපි හැමොටම ජිවත් වෙද්දි වැරදිම්, අකටයුතු කම් වෙනවා, එවා ඉදිරියෙදි තමන්ගෙ හැඩය රැකගන්න මෙ වගෙ ක්‍රමයක් ඉතාමත් වටිනවා. මෙහෙම පිට කරෙ නැත්තම්, මනස ඇතුලෙ පැස වද්දි එක ලොකු තල්ලුවක් වෙනවා මනස වෙනස් කරන්නට. ස්වප්නා අක්කා කියන්නම්, කෙනෙකුට ආදරෙ කරපු කෙනෙක්, කවදාවත් හිනා වෙන්නෙ නැහැ. තමුන් කොහොම හිටියත් එ කෙනා ගැන දුක් වෙනවා මිසක්, මොකද එක තමයි දැනට මම කරන දෙ.. හික්.. හික්.. හරි අපුරු සම්බොලයක් තමයි ජිවිතෙ. ලුණුයි, ඇඹුලුයි අපිතමයි දාන්නෙ. දාලා කන්නෙත් අපි. එක හින්දා ලුණු, ඇඹුලු දාගන්න තරම ගැන වැටහීමක් තියන්න ඔනා. ලස්සන කතාවක්. මම ගියා
:) තීරණ ගනිද්දි හිතට වඩා මගෙ ඔලුව වැඩ කරන්න ගන්නවා. හිත ලස්සනයි.
නමුත් අපිට ඒකට වහල් වෙන්න බෑ. අප වටා අප විසින් පනවා ගත් සම්මුතීන් තියනවා.
ඒ නිසා ලුණු ඇඹුල් දැමීමේ වගකීමත්; ලැබෙන රස මොකක් උනත්, විඳ ගැනීමේ වගකීමත් මම බාර ගන්නෙ සතුටින් :)
සමහර විට ඔයා කියන දෙ හරි වෙන්න පුළුවන්, නමුත් මම නම් මෙ තර්කයට වඩා හැගිම් වලට ඉඩ දෙන්න ගිහින් ගොඩක් වරද්දගෙන ඉන්න කෙනෙක්. නමුත් මම තවමත් හැගිම් වලට තමයි ඉඩ දෙන්නෙ. මොකද බුද්ධියට ඉඩ දිලා ගොඩ යනවාට වැඩිය, හැගීම් වලට ඉඩදිලා හැමදාම පරදින එක ගොඩාක් වටිනවා කියලා තමයි මට දැනිලා තියන්නෙ. සමහර දෙවල් තියනවා දිනලත්, දිනුවට පස්සෙත් පැරදිලා වගෙ දැනෙන්න ගන්නවා. සමහර දෙවල් තියනවා, පැරදුනා කියලා දැනි දැනිත්... මම දිනුවානෙ කියලා දැනෙන්න ගන්නවා. :D එහෙම නෙද අක්කෙ.
:) ම්ම්ම් :) කවද හරි දිනන දවසක් එයි :) බලා ඉමු
ලස්ස්නට ලියලා තියනවා අරිම ලසනයි..ඈත්තටම.....
පුවත් පතකට යවමුද..?
හැමදාම මෙන් හොඳ දේ මා දකින්නේ පමා වීය.
උපරිමයි!!
ස්තුතියි :)
Post a Comment