මේක බොහෝම පරණ සිද්ධියක්. මම ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දෙයක්.
අපේ ගෙදර මාළු ටැංකි කිහිපයක්ම තියනවා. ඔය තිබිච්ච මාළු ටැංකියකට හරි වහලයක් තිබුනෙ නෑ. මාළු ටැංකිය මතුපිට ආවරණය විදිහට පාවිච්චි කලේ කොටු රාමුවකට හයි කරපු දැලක්. මාළුන්ට කෑම දාන්නෙ ඔය දැල ඇරලා. කෑම දැම්මට පස්සෙ ආයි වහනව. හරිම සරලයි.
මම පාඩම් කරන්න ගෙදර නැවතිච්ච දවසක කෑම දාන්න දැල ඇරිය. හැබැයි වහන්න, අමතක උනා. ඔන්න ඔය වෙලාවෙ තමයි පිළිහුඩුවෙක් එතනට සැපත් වෙලා තිබුනෙ. වතුර හෙලවෙන සද්දෙත් එක්ක, මම බලනකොට ප්‍රමාද වැඩියි. පිළිහුඩුවා ගෝල්ඩ් ෆිෂ් ව ගහේ ගහල පණ නෑති කරන විදිහත්, මාළුවා පණ අදින විදිහත්, ජනේල පොලු වලට වාරු වෙලා බලාගෙන ඉන්න මට සිද්ද උනා.
මාලුව බේරන්න පිළිහුඩුව බය කරන එක බොරු වැඩක්. ගෝල්ඩ් ෆිෂ් කියන්නෙ හරිම දුර්වල, පණ හයිය නෑති මාලුවෙක්. සත්තුන්ගෙ ආහාර දාමයට ඇගිලි ගහන එකේ තේරුමකුත් නෑ.
ඒත් මාළුව මළේ මගෙ වරදින් කියන හැගීමෙන් මිදෙන්න මට බැරි උනා.
මේ ඒ හිතේ අමාරුවට ලියපු නිසදැසක්.
රන්වන් නුඹ
මින් මැදුරේ හුන්
නිල්වන් නිල්
පිළිහුඩුවකුගේ නෙත
ගොදුරක් සේ ගැටි වරදින්
එලෝ බලා
පිළිහුඩු හොට දැවටී
සලමින් වරල්
යන නුඹේ
ගැහෙන හද
තවයි මා.
මින් මැදුරේ දොර
විවර කළ මා
විත්තියයි
නුඹ ඉදිරියේ
යුද්දෙකින් මිනිස්සු දහස් ගානක් මැරිච්ච රටක, පිළිහුඩුවෙක් මාලුවෙක් මැරූ එක ඒ හැටි කෙහෙල්මලක් ද කියල කාට හරි හිතෙන්න පුලුවන්. එක ඉතින් කියවන්නාගේ අයිතිය :)
Sunday, April 18, 2010
Subscribe to:
Post Comments (Atom)
0 විවේචන:
Post a Comment