skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, April 27, 2010

දෙමව්පියෝ

අම්මල තාත්තලත් එක්ක හරි කරදරේ, හරි නීති, හැම දේම හොයනව කියල කොච්චර අපි ආඩපාලි කිව්වත්; අම්මල තාත්තලාගෙ අගේ තේරෙන්නෙ, එහෙම කරදර විදින්න නැති ළමයි දැක්කම.

අපි කට්ටියම ( ඒ කිව්වෙ අපේ රාජකාරි කරන තැන කට්ටිය ) , ඊයෙ ගියා ළමා නිවාසයකට දානයක් දෙන්න. එක කරන් යන්නෙ පන්සලකින්. බිගු ලග සාක්කි තියනව. පොඩිම කොළු පැටියගෙ ඉදල, ලොකු කොල්ලො දක්වා, ඉස්කෝල වයසෙ ළමයි 70 ක් එතන ඉන්නව. පව්.

මව් සෙනේ සුවද
කුණු ඇලේ දුගද
පරදවා හමා එන දින කෙදින ?

පිය සෙනේ බලය
මැසි මදුරු වදය
අභිබවා නැගී එන දින කෙදින ?

බුදු පැලක සෙවණ
දෙවන මෙත් සිසිල
ඔවුන් හෙට දිනවන්න දරති වෙර

ඔන්න ඉතින් අපි ළමා නිවාසෙන් එනකොටත් රෑ 8 ට කිට්ටුයි. අරයව ඩ්‍රොප් කරල, මෙයාව ඩ්‍රොප් කරල, මෙයාටත් ලිෆ්ට් එකක් දීල මම ගෙදර එනකොට රෑ 9 ට කිට්ටුයි. අපේ අම්ම පිළිමයක් වගේ ඉන්නව. "ඉලන්දාරියෙක් කියලද හිතා ගෙන ඉන්නෙ? "
Posted by ස්වප්නා at 08:07 5 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

Saturday, April 24, 2010

නිසි කලට විවාහ නොවීමේ විපාක.

අදත් මම සුපුරුදු පරිදි පරිප්පුවක් කෑවා. තනියම කල්පනා කර කර ඉන්න වෙලාවෙ, මට මෙන්න මේ වගෙ අදහස් ටිකක් පහල උනා.

නිසි කලට විවාහ නොවීමේ විපාක:

1.) දෙමව්පියන්ගේ මිතුරන්ගේ, පොඩි එවුන්ගේ උපන්දින උත්සව වලට සහබාගී වීමට සිදු වීම.
2.) පොතේ පතේ දැනුම පමණක් ඇති, සමාජය ගැන නොදන්නා අහිංසක මලක් ලෙස හදුනා ගැනීමට ලක් වීම.
3.) දෙමව්පියන්ගේ හිතවතුන්ගේ මලගමට, මගුලට ආදී මෙකී නොකී හැම කෙහෙල්මලකටම සහබාගී වීමට සිදු වීම. (ඒවාට එන්නෙද පොඩි එවුන් සහ, අපේ දෙමව්පියන් වගේම සෙට් එකක් පමණි.)
4.) "චූටි දූ මොකද කරන්නෙ?" යන පැනයට නිතර ලක් වීම සහ ඊට නිතරම හොද පිළිතුරක් දිය යුතු වීම.
5.) ලමා කාලයේත්, යොවුන් වියේත් වෙනසක් නොමැති වීම. (ඒ කාලෙත් ඔය ටිකම කලානෙ. තාම කරන්නෙත් ඒ ටිකමයි )

මට දැනට කල්පනාවට ආවෙ ඔච්චරයි. කාටවත් මේ වගේ ප්‍රශ්න නැද්ද?
Posted by ස්වප්නා at 23:01 13 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

Thursday, April 22, 2010

අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ

දිවිය දැවිණැයි සිතුණු දවසෙක
ඉහිරි විසිරුණු දිය කදුර ඔබ
මගේ දෑසින් නුදුටු වන තීරේ

පලා යන්නට සිතුණු මොහොතක
දෑත් සිර කල බැමි කඩා බිද
පැතුම් දොරගුළු විවර කල අරුමේ

කල්පනාවක හුදකලාවක
ගැලුණු සිත නිදි ගැට කඩා හැර
ඔබේ හඩ මට ගෙනේ ආලෝකේ

නෙතට කදුලක් උනන වරකට
මද සිනා පිරි, මුදු කතා ඇති
නමුදු ළග නැති ඔබ සිතට ගොඩ වේ
Posted by ස්වප්නා at 08:15 14 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Wednesday, April 21, 2010

මම මා නිසා

කෙනෙකුගේ ඉවසීමේ සීමාව ගෙන පැහැදිලි අර්ථකථනයක් දෙන්න තරම් නං මම පොහොසත් නෑ. මේ නිර්මාණය කියවල බලන්න. මොකද හිතෙන්නෙ?

please please oh please love me for who I am !!

ගිනි මද්දහනේ කරකුටු පොලොවේ
ඇවිදින්න ඉගෙන ගත්තා ඇති දැන්
කිසි කලක නොදුටු හමු නොවූ
පිටස්තරයා හින්දා දුක් වින්දා ඇති දැන්

don't let them know your dreams.. They'll laugh at you

නිල් අහස පුරා වැහි බිංදු පුරා
මගෙ හීන දේදුන්න පායාලා
හිනැහෙන්න එපා මායාව කියා
දේදුන්න මගේ හෙට දවස වෙලා

why does everybody want to change me? Am I a bug of the nature?

හුදකලා වලා සේ පාවීලා
යමි හිතුවක්කාරී සිතැගි පුරා
මට හැගෙන දැනෙන ජීවිතය
සොරා ගත් නව දිවියක් මට එපා එපා

Is marriage, making a doll of your choice, out of selected candidate?
Posted by ස්වප්නා at 08:11 4 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Sunday, April 18, 2010

පැමිණිල්ලක් නැති විත්තිය

මේක බොහෝම පරණ සිද්ධියක්. මම ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දෙයක්.
අපේ ගෙදර මාළු ටැංකි කිහිපයක්ම තියනවා. ඔය තිබිච්ච මාළු ටැංකියකට හරි වහලයක් තිබුනෙ නෑ. මාළු ටැංකිය මතුපිට ආවරණය විදිහට පාවිච්චි කලේ කොටු රාමුවකට හයි කරපු දැලක්. මාළුන්ට කෑම දාන්නෙ ඔය දැල ඇරලා. කෑම දැම්මට පස්සෙ ආයි වහනව. හරිම සරලයි.

මම පාඩම් කරන්න ගෙදර නැවතිච්ච දවසක කෑම දාන්න දැල ඇරිය. හැබැයි වහන්න, අමතක උනා. ඔන්න ඔය වෙලාවෙ තමයි පිළිහුඩුවෙක් එතනට සැපත් වෙලා තිබුනෙ. වතුර හෙලවෙන සද්දෙත් එක්ක, මම බලනකොට ප්‍රමාද වැඩියි. පිළිහුඩුවා ගෝල්ඩ් ෆිෂ් ව ගහේ ගහල පණ නෑති කරන විදිහත්, මාළුවා පණ අදින විදිහත්, ජනේල පොලු වලට වාරු වෙලා බලාගෙන ඉන්න මට සිද්ද උනා.

මාලුව බේරන්න පිළිහුඩුව බය කරන එක බොරු වැඩක්. ගෝල්ඩ් ෆිෂ් කියන්නෙ හරිම දුර්වල, පණ හයිය නෑති මාලුවෙක්. සත්තුන්ගෙ ආහාර දාමයට ඇගිලි ගහන එකේ තේරුමකුත් නෑ.
ඒත් මාළුව මළේ මගෙ වරදින් කියන හැගීමෙන් මිදෙන්න මට බැරි උනා.
මේ ඒ හිතේ අමාරුවට ලියපු නිසදැසක්.

රන්වන් නුඹ
මින් මැදුරේ හුන්
නිල්වන් නිල්
පිළිහුඩුවකුගේ නෙත
ගොදුරක් සේ ගැටි වරදින්
එලෝ බලා
පිළිහුඩු හොට දැවටී
සලමින් වරල්
යන නුඹේ
ගැහෙන හද
තවයි මා.
මින් මැදුරේ දොර
විවර කළ මා
විත්තියයි
නුඹ ඉදිරියේ

යුද්දෙකින් මිනිස්සු දහස් ගානක් මැරිච්ච රටක, පිළිහුඩුවෙක් මාලුවෙක් මැරූ එක ඒ හැටි කෙහෙල්මලක් ද කියල කාට හරි හිතෙන්න පුලුවන්. එක ඉතින් කියවන්නාගේ අයිතිය :)
Posted by ස්වප්නා at 09:40 0 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Friday, April 9, 2010

සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)


සුදා කියන්නෙ අපේ පුංචිගෙ බබාට. එයාට තාම අවුරුදු 3 යි. හරි. හරි. සුදා කියන්නෙ ඇත්ත නම නෙවෙයි. අනික එයා පාටින් කලුම කලුයි. :) ඒ උනාට හිත සුදුයි. මේකට මම "සුදු සිහින - කතා මාලා අංක 1 " කියල නම දැම්මෙ අපේ සුදාගෙ කියවිල්ලෙ හැටියට පොතක් පිරෙන්න උනත් කතා ලියන්න පුලුවන් නිසා.

හැබැයි මම මේවා සයිබර් අවකාශයට දැම්මට, මේවෙයි නියම හිමිකරු නොහොත් කතා කරු අපේ සුදා...

ඔන්න දවසක් ලස්සනට අහසේ දේදුන්නක් පායලා තිබ්බා.

චුදා කියනවා අපේ තාත්තට, "පාප්පේ, ඔය දේදුම්ම ඇන්දෙ මම. ඉනිමග තියල මේ පොං ගහට නැගල එතනින් දේදුම්මත නැග්ගා. පාට පෙත්තියෙන් පාත අලන් මේම මේම ගෑවා." අපේ තාත්තත් මේ කතාවට ඉතින් පෝර දානවා. එතකොට සුදා ආයි කියනව, "මම දේදුම්ම පාත කලන්න යනකොත ඒක පාත කල කල හිටපු දෙන්නෙක් බැහැලා ගියා" කියලත්. තව කියනවා, "මම ඒක පාත කල කල ඉන්නකොත, ප්ලේන් එකක ගිය නමයි දෙන්නෙක් මත තතා කියාගෙන ගියා" කියල :)

පස්සෙන්දා අපේ අම්මා සුදාගෙන් අහනවා, "සුදෝ, දේදුන්න නෑ නේද? ඊයෙ රෑ වැස්සට හේදිලා ගිහින්ද කොහෙද නේද?" කියල.
ඔන්න ඉතින් සුදා කියනව, "ම්ම්ම්ම්ම්, මමත් බැලුවා.. පොං ගහත උදින් බැලුවා. අර ආච්චිලගෙ වහලෙත උදින් බැලුවා.. තිබ්බෙ නෑ."
අපේ මල්ලි එතකොට කියනව, "එහා ගෙදර සයිමොන් සීයා හන්ග ගත්තද දන්නෑ", "නෑ නෑ දේදුම්ම වැච්චට හේදිලා"..
මල්ලි ආයෙම කියනව "එහෙනන් ආච්චි රෙදි හෝදනකොට සබන් ගාන්න ඇති දේදුන්නෙ" "නෑ නෑ ආච්චි බැලුවෙත් මම කිව්වාම. දේදුම්ම හේදිලා තමා ... අ ර් ර් ර් ර් දේදුම්ම හේදිලා තමා"
Posted by ස්වප්නා at 19:29 4 විවේචන
වර්ගීකරණය: රස කතාවක්

Thursday, April 8, 2010

සිරි දළදා සිරසා නමාමී



දළදා මාලිගයට අදාළව කරපු මොකක් හරි උත්සවයකට හරි යන්න ලියපු එකක් මේ.

ආයි ඉතින් කියන්න ඕනෙ නෑනෙ, තනුව අපේ ගුරුතුමී ගෙ, ගායනාව ඉස්කෝලෙ හිටපු නංගියෙක්ගෙ.
එතකොට ඒ නංගියි මමයි දෙන්නම එක කැම්පස් එකේ. :)

සතට සරණ සිරි දළදා හිමිගේ
කුළුණු සිතිනි දැය පැහැබර කෙරුණේ
ලකට පොරණ හේමා කුමරීගේ
රුසිරු වරල වට කොට වැඩමෙව්වේ

දෙස බස රැස සුරකින හෙළයා ගිය
මග දළදා හිමි වැඩ උන්නේ
සොදුරු විකුම් පෑ මී මුත්තන් ගේ
දිරිය අපට දී වැඩ ඉන්නේ

තැවෙන දැවෙන සිත නිවන විපුල ගුණ
සෙංකඩගල පුර වැජඹෙනවා
දොහොත් මුදුන් වේ සිරස නැමී යේ
සිරි දළදා රැස් විහිදෙනවා

දළදා මාළිගාව ඉස්සරහ මේ සින්දුව කියනකොට, ඒ මියුසික් එක්ක මට කියා ගන්න බෑ අක්කෙ, ඇස් වලට කදුළු උනන්න ගත්තා කියල ඒ නංගියා මගෙත් එක්ක පස්සෙ දවසක කිව්වා.
Posted by ස්වප්නා at 17:35 1 විවේචන
වර්ගීකරණය: ගීතයක්

ප්‍රාර්ථනා



මේ නම් ඇත්තටම මම හිතන විදිහ සහ ඉටු වෙයිද නොවෙයි ද කියලා නොදන්න සිහිනයක්.
හැබැයි ඒ වෙනුවෙන් මට දැනට කරන්න පුලුවන් උපරිම දේ මම කරනවා. :)


සිරි අනුරපුරේ මහ ගෙදර අපේ
කැණි මඩල තියේ මිස්සක පව්වේ
මහ මේඝ වනේ තුගු තුරු සෙවනේ
මහ මිහිදු කුලේ සෙත් සුතුරු ඇසේ

රන් වැලි වෙහෙරේ රන් කොත මුදුනේ
දුටු ගැමුණු කුලේ අපි දැය දිනුවේ
මහ බෝ හිමි ගේ ලා පත් අතරේ
මහ මුනිදුන්ගේ මුව මඩල පෙනේ

මෙතේ බුදුන් හමු වන කාලේ
අපි අපේ රටේ යළි උපදින්නේ
බුදු බණක් අසා මහ දනක් දෙවා
රන් වැලි මළුවෙදි දුක් නිමවන්නේ

ගීයට තනුව එක් කලේ සංගීත ගුරුතුමී
ගායනා කලේ ඉස්කෝලෙ නංගිලා

ඔය සිංදුව මම ලිව්වෙ "සිරි" කියලා ආරම්භයක් නැතුව. හැබැයි තනුව දැමීමේ අපහසුතාවයක් ඇවිත් අපේ ගුරුතුමී ඒක එකතු කරල තිබුනා.
Posted by ස්වප්නා at 16:43 1 විවේචන
වර්ගීකරණය: ගීතයක්

Wednesday, April 7, 2010

අතීතයෙන් බිදක්


මම ලස්සන, ලොකූ හීනයක් දකිනවා. ඒක කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. හැබැයි කට්ටියගෙ සපෝට් එකක් නැති නිසා මම තාම කරන්නෙ ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙන එක. හීනෙ මොකක්ද කියල අහන්න ඔට්ටු නෑ... :) පුලුවන් කෙනෙක් තමන්ට කැමති දෙයක් හිතා ගත්තට මගේ අකමැත්තක් නෑ.. :)

මම ඉස්සරෝම ලියපු ගීත ටිකකින් මම ආසම කරනම කිහිපයක් විතරක් දැනට දාන්නම්. කියවල බලන්න හොදද කියලා.

ගීත කියල කිව්වෙ ඇත්තතම මේවා තනු නිර්මාණය වෙලා, ගායනා කරපු ඒවා නිසා.

මේක මගේ පළමු ගීය. තනුව අපේ ඉස්කෝලෙ සංගීත ගුරුතුමීගෙ. ගායනා කලෙත් ඉස්කෝලෙම නංගියෙක්

මහමෙවුනාවේ සමාධි බුදු පිලිමය දිහා සමාධියෙන් යුතුව බලන් හිටියොත් මට හිතෙන දේ ලියන්න කියල තමයි මගේ ගුරුතුමී කිව්වෙ.

නේරංජනාවේ රන් දිය දහරට සද රැස් වැටිලා
සෝමයි හිමියනි සෝමයි හිමියනි
සිරිමා බෝ හිමි පත් සිලි නද දී
ගයනා බුදු ගුණ බෝමයි හිමියනි

වජිරාසනයේ හිමි වැඩ හිදිනේ
මහ මෙව්නාවට වැඩලා වාගේ
එක බණ පදයක් අහන්න ආසයි
මිගදායේ හිමි දෙසුවා වාගේ

හසරැලි මුව මුනි බණ තෙපලායා
අඩවන් නෙතු අප මග නොහැරේයා
සද රැස් වැටිලා සිසිලයි හිමියනි
ගැයෙනා මුනි ගුණ සුවදයි හිමියනි
Posted by ස්වප්නා at 20:06 6 විවේචන
වර්ගීකරණය: ගීතයක්
Newer Posts » Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio