skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, October 29, 2012

අද නිවාඩු දවස

පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසා
පෝය නිවාඩුව තව තව අයිස් උනා
බොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවා
ඔබේ මුහුණු බලලා යන්නට ආවා

යකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයි
දාහක් ප්‍රශ්න එක පාරට වැටෙන හැටියි
හිතුවම විටෙකදී ගිහි ගෙය හරිනු හිතෙයි
කාලය විදුලියේ වේගෙට වඩා දුවයි

සිහින ජීවිතය ගොඩ නැඟු තරමටම
සිහින දකිමි තවමත් මම පෙර විලස
ඉපැරණි සිහිනෙකී මම ඔබ හමු වීම
සතුටකි විටෙක ඔබ හමුවන්නට ඒම

සතුටින් ඔබේ කාලය ගත වෙයි සිතමී
දුක් කරදර හමුවේ නොවැටෙනු යෙහෙකී
යන එන විටදී මා හමු වූවොත් මෙහෙදී
දොඩමළු වෙන්න අමතක නොම වෙයි පතමී




Posted by ස්වප්නා at 15:46 10 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Saturday, June 30, 2012

ඔසුව

පාළුව, තනිකම, වේදනාව, ප්‍රේමය, පීඩනය මිනිස්සුන්ගෙ කවීත්වය පුබුදු කරනවා.
රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය සටහන් කරුවකු වූ මැක්සිම් ගෝර්කි, බොහෝ දුක් ගැහැට මැද ජීවිතය ගොඩ නැඟූවෙක්.

දුකක් දැනිච්ච වෙලාවට පෑනක් අතට ගන්න එක, හිතට ඔසුවක්.
තනිකමට, හිතේ හිර වෙච්ච අවනඩුව පුපුරවා එලියට දාන්න අපි කවුරුත් කඩුවක් වගේ අතට ගන්නෙ පෑන.
අද මේ පැත්තෙ ආවෙ නඩුවක් කියාගෙනද කියල අහන්න. උත්තරේ ඔව්.
අපිව මතක් වෙන්නෙ පාළුවට, තනිකමට තමයි කියල බනින්න. මම මොනවත් කියන්නෙ නෑ.

ආදරේ මනින්න පුලුවන් නං කොච්චර හොඳද වගේ බ්‍රයිට් අයිඩියා එකක් මට ආවා.
එහෙම එකක් තිබ්බ නං කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ආදරේ විතරක් නෙවේ, නාකි වෙලා ආදරේ කරන්න ගත්ත අපේ ආදරෙත්, අපි ආදරේ නැතෙයි කියල අම්මලා අපිට නෝක්කඩු කියන කොට, ඒ ආදරෙත් මනින්න තිබ්බ.

හ්ම්ම්
Posted by ස්වප්නා at 23:33 8 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

Monday, April 2, 2012

ඔබාගෙන ඔබාගෙන ගිය කැත...

වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ.

කොහොම කොහොම හරි මගේ මහත්තැන්, පංති ඉවර වෙලා මාව එක්කන් යන්න එනකං මම ඉතින් කොරන්නේ වඳුරු පැටිය වගේ ඔහේ වට පිටාවේ වෙන එකෝක දේවල් බලන් ඉන්න එක තමයි.
ගිය සෙනසුරාදාත් ඔන්න ඉතින් මහත්තැන් එනකං කියල මම කැම්පස් එකේ ගේට්ටුව ලඟම තියන බංකුවක වාඩි වෙලා උන්නා.

කොලඹ විශ්ව විද්‍යාලයේ, කලා පීඨය පැත්තට වෙන්න තියන ගේට්ටුව ඉස්සරහම නොවෑ පාර පනින්න පහසු වෙන්න හදල තියන මාර්ග සංඥා ලාම්පුත් සවි කරලා ථියෙන්නෙ. කවුරුත් දන්නවනෙ, තමන්ට පාර මාරු වෙන්න ඕනෑ උනාම අර සංඥා කණුව ලඟට ගිහින් බොත්තම තද කරන්නයි තියෙන්නෙ. එතකොට ටික වෙලාවකින් වාහන යාම නවත්තන්න රතු පාට වැටිලා, පාර හරහා යන්න කොළ පාට වැටෙනවා.

ඔන්න ඉතින් පාර මාරු වෙන්න ගෑණු දරුවො තුන් දෙනෙක් ආව. පච මල්ල හලන ගමන්, එක ගෑනු ළමයෙක් අනේ අර කණුව බදාගෙන, සරුවාංගයම සලිත කර කර, එක අතකින් අර බොත්තම එක දිගට ඔබාගෙන ඔබාගෙන ගිය කැත කමට මට හිනත් ගියා.

අනේ ඉතින් මෙව්වා පොදු දේපළ නේද. කොල වැටෙනකංම ඔය බොත්තම තද කරන්න ඕනි නැති විත්තිය එතනින් මීට කලින් පාර මාරු වෙච්ච ඕනි කෙනෙක් දන්නවා ඇති. ඒ පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලය අපි පොඩ්ඩක් ඉවසීමෙන් ලබා දීම විතරයි කළ යුත්තේ. ඔය විදිහට පොදු දේපළ පරිහරණය කලාම, ඉක්මනින්ම අබලන් වෙන මේ පද්ධති නැවත සකස් කරන්නට යන්නෙත් අපේ සල්ලිම තමයි.

උගත් කමයි, සාමාන්‍ය දැනීමයි දෙකම මේ ළමයින්ට තියනව නං කොච්චර හොඳද? නේද?
Posted by ස්වප්නා at 23:16 10 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

Sunday, February 26, 2012

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

2012 ට පළමු පාඩම :)

711.) සැණකෙළිය
712.) සංකේතය
713.) ළතැවිල්ල
714.) දෘශ්‍යමාන
715.) දෘෂ්ටිකෝණය
716.) ගිනි පෙණෙල්ල
717.) ජයග්‍රහණය
718.) තණකොළ
719.) පැකිළෙනවා
720.) පැළකරනවා
721.) කෙළවර/කෙරවල
722.) කුසල/කුශල
723.) කැළි කසල
724.) සර්වඥ
725.) කඩපිල/කඩපිළ
726.) උණ ( රෝගය/ ගස් )
727.) චතුරස්‍ර
728.) ඝට්ටනය
729.) ඤාණ / ඥානය
730.) පරිහානිය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 03:51 5 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Friday, February 24, 2012

බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවිය



අහසක් උනා නම් ඔබ මහ පොළොවක් වී
කරනා කියන දේ නිතරම ඇස ගැටෙතී
ඇහැ පිය ගැසෙන සැණයෙන් ම'වෙතින් ඉගිලී
සැඟවෙන ලොවේ රස කිමදැයි නොදන්නෙමී
Posted by ස්වප්නා at 16:26 17 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Friday, February 10, 2012

අපේ ලෝකය එකළු කෙරුමට, ඔබේ වීරිය දන්නෙමූ

දුකේදී පිහිටට වඩින්නේ
දෙවිවරුය මිනිසුන් වෙතේ
අපේ කඳුලට තැවෙන දෙවිවරු
මව්පියොයි, වෙනකෙකු නොවේ

කොහේ කොතනක බෙල සිඳුන දා
දෙමාපිය පාමුල වැටී
දෑත් දුන් විට යළි නැගෙන්නට
මව් ගුණය ලොව බැබළවී

හිතේ සවි දී, අප පෙරට ලී
ඔබේ ගත සවි යයි බිඳී
පුතුන් හට ඇති පෙම දිරිය වී
පියවරුන් සවි තිර වෙතී

අපේ ලෝකය එකළු කෙරුමට
ඔබේ වීරිය දන්නෙමූ
ඔබට නොපෙනී, ඔබට නොදැනී
දිවා රෑ ඔබ නමඳිමූ
Posted by ස්වප්නා at 17:45 8 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Thursday, February 2, 2012

ඉස්පිරිතාලයේ අපෙ පැණි හඳ කාලේ

වේලි වේලි ඉඳලා ලැබුණු වතුර පොද
තොලේ ලාන්නට නෑනේ මගේ පින
රටටම නොකිව්වත් ජයටම කෑ මඟුල
කොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපල

හරියට පැහැය තිබුණත් මගෙ සම සොබන
දැන් නං කහය හෙපටයිටිස් කියති වෙද
ඇඳ මස්තකේ ගෙවනා කම්මැලි දිවිය
නිම වෙන දිනය එනකං ඉමි ඇඟිලි ගැන

හිමි එයි රෝහලට ගෙදරට එනව වගේ
පිළිගමි, සිඹින්නට බැරි පිය මුව ඔහුගේ
සිනහවෙන් ගෙවමු මේ දුක් බර කාලේ
ඉස්පිරිතාලෙ දැන් අපෙ පැණි හඳ වාගේ

Posted by ස්වප්නා at 16:46 11 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ▼  2012 (7)
    • ▼  October (1)
      • අද නිවාඩු දවස
    • ►  June (1)
      • ඔසුව
    • ►  April (1)
      • ඔබාගෙන ඔබාගෙන ගිය කැත...
    • ►  February (4)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවිය
      • අපේ ලෝකය එකළු කෙරුමට, ඔබේ වීරිය දන්නෙමූ
      • ඉස්පිරිතාලයේ අපෙ පැණි හඳ කාලේ
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio