skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, September 29, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඉහටත් උඩින් වැඩ :( ලියන්න ටිකක් අමාරුයි. කලින් පෝස්ට් එක බලලා කට්ටිය ප්‍රශ්න පත්තරයක්ම අහල තිබ්බනෙ :)
ඒවට උත්තර හොයන්න ගිය වෙලාවෙ මම අලුතින් දෙයක් ඉගෙන ගත්තා. ඉතින් උත්තරෙක් එක්කම ඔය අතිරේක විස්තරෙත් දාන එක හොඳ වේවි කියලා මට හිතුණා.

මේ උත්තරේ "ප්‍රශ්නය" හා සබැඳියි.
නිවැරදි අක්ෂර වින්‍යාසය "ප්‍රශ්නය"...
ඔන්න අහගන්න හේතුව.

මූර්ධජ "ණ" කාරය හා දන්තජ "න" කාරය

1.) අතීත ක්‍රියා රූපය (ආඛ්‍යාත හා කෘදන්ත ) සඳහා යෙදෙන 'ණ' කාර ප්‍රත්‍යය හැම විටම මූර්ධජව සිටී.
ඇසිණි, ඇසුණු, ඇසුණේ, ඇසුණෝ, ඇසුණහ, ඇසුණා
එහෙත්,
උපන්, උපන්න, දුන්, දුන්නු, දුනු ආදී අතීත ක්‍රියා පදවල හලන්ත හා ද්විත්ව 'න' කාරය දන්තජව සිටී.

2.) ගෞරවාර්ථයෙහි යෙදෙන ආණි, අණු, ආණ, අණ්ඩ, අණ්ඩි යන ප්‍රත්‍යගත 'ණ' කාරය මූර්ධජව සිටී.
දුවණියෝ, දියණියෝ , අම්මණ්ඩි, මලණුවෝ

3.) සිංහල භාෂාවේ යෙදෙන උපකරණ, කරණ විභක්ති, මරණ භය, කළමනාකරණය, රෝග නිවාරණය වැනි පාලි, සංස්කෘත ස්වරූපයේ කෘදන්ත 'ණ' කාරය හැමවිටම මූර්ධජව සිටී.

4.) සිංහලයෙහි තත්සම නොවන වර්තමාන කෘදන්ත රූපයේ ධාතුව අගට එකතු වන 'න' කාර ප්‍රත්‍යය හැම තන්හි දන්තජවම සිටී.
එන, කරන, කරවන, කියන, යන, හදාරන, වැටෙන

5.) සිංහලයෙහි තත්සම නොවන වර්තමාන කෘදන්ත රූපවල 'නු' ප්‍රත්‍යයද හැම විටම දන්තජව සිටී.
කරනු, කරනුයේ, කරන්නේ, කරනුව

6.) පදයක ඍ, ර්, ෂ් යන අකුරකින් පර වූ 'න' කාරය මූර්ධජ බවට හැරෙයි. ( රේඵ, රකාරාංශ වශයෙන් හැදින්වෙන රූප මෙහි 'ර්' වශයෙන් ගැනේ. )
උෂ්ණ , ඍණ, කෘෂ්ණ, වර්ණ, භ්‍රමණ ( රකාරාංශ )

7.) පදයක ඍ, ර්, ෂ් යන අකුරක් හා 'න' කාරය යෙදෙන විට ඒ අතරෙහි මතු දැක්වෙන අකුරුවලින් එකක් හෝ කීපයක් හෝ යෙදුණ ද 'ණ' කාරය මූර්ධජව සිටී.
( අ ) ස්වර
( ආ ) ය් / ව් / හ්
( ඇ ) ක් / ඛ් / ග් / ඝ්
( ඈ ) ප් / ඵ් / බ් / භ් / ම්

ආරෝහණ, ක්ෂීණ, ද්‍රෝණි, නිර්මාණ, නිර්වාණ, නිරූපණ, පරිමාණ, ප්‍රමාණ, ප්‍රාණ, රක්ෂණ, මුද්‍රණ, ශ්‍රේණි

8.) එහෙත් ච, ට, ත වර්ගයේ අකුරක් හෝ ශ, ස, ල, ං යන අකුරක් හෝ කිහිපයක් අතරෙහි යෙදෙන විට 'න' කාරය දන්තජව සිටී.
අධිෂ්ඨාන, ආරාධනා, දර්ශන , දුර්ජන, පරිවර්තන, ප්‍රධාන, ප්‍රශ්න, ප්‍රාර්ථනා, මර්දන, රචන, රඤ්ජන, වර්ණනා, විමර්ශන

කියවනවානම් පොත :- සිංහල ලේඛන රීතිය (ජාතික අධ්‍යාපන ආයතනය )

ගෙදර පොත තියන තැන කියලා, පොතේ කියවන්න ඕනෙ කොටස හොයලා දුන්නේ අම්මා :)

පුබුදුවා: කිව්වා, කිවුවා ගැන තව ටිකක් හොයන්න ඕනෙ !! වෙලාවක් හම්බ වුණු හැටියෙ ලියන්නම්
ඔය දන්න කෙනෙක් ඉන්නවනං උත්තරේ ලියන්නකෝ !!
Posted by ස්වප්නා at 20:54 5 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Saturday, September 25, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

බලන්න මේ වචන ඔබ ලියන්නෙ මේ විදිහටද නැත්තන් මීට වෙනස් විදිහකටද කියල

121.) ප්‍රස්ථාව පිරුළු
122.) කනගාටුව
123.) ත්‍රිකුණාමලය
124.) වළඳනවා
125.) මොළකැටි
126.) පළඟැටියා
127.) කොළ කැඳ
128.) සූර්යයා
129.) කණ්ඩායම
130.) මුරණ්ඩු
131.) සමනොළ කන්ද
132.) සමනලයා
133.) නිලධාරීන්
134.) නියං කාලය
135.) ගාථාව
136.) ප්‍රශ්නය
137.) රේඛාව
138.) ශාලාව
139.) විස්මය
140.) විවිධ
Posted by ස්වප්නා at 15:20 11 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Wednesday, September 22, 2010

රාජකාරිය

නොකරත් බැරි
කලාට වැඩකුත් නැති
ගහපු බෙරේකුත් නැති
බෙරේ පළුවකුත් නැති
දේවකාරිය
Posted by ස්වප්නා at 10:40 3 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Sunday, September 19, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අද වචන 20 :)

101.) කුරුලු
102.) ලුණු
103.) ප්‍රණීත
104.) නළල්පට
105.) ගැහැනිය
106.) සංකීර්ණ
107.) පුළුන්ගොඩ
108.) එකඟතාව
109.) සියලුදෙනා
110.) ස්වාභාවික
111.) නෙළුම් මල්
112.) ත්‍රිකෝණය
113.) නැළවීම
114.) නිර්මාණය
115.) බෝ මළුව
116.) පළා වර්ග
117.) කළු ලෑල්ල
118.) කණ්ණාඩිය
119.) කන්නාඩිය
120.) ඇඳුම් පැලඳුම්
Posted by ස්වප්නා at 19:38 2 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Friday, September 17, 2010

සිඟන්නී



ආදරේ සැරයටිය
වාරුවට තියාගෙන
අනෙක් අත හදවතම
බඳුනක්ව තියාගෙන
මං හිටියා හීනයක
සිඟන්නියක වී
එකෙක්වත් ඇහැ ඇරල
බැලුවෙ නෑ මා දිහා
මම ඇහැරුණා
Posted by ස්වප්නා at 20:27 2 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Thursday, September 16, 2010

හරිද? වැරදිද?

මම තවම ඔබ ලඟම
ඔබ ඈත ඈ අසල
තනිකමට පාළුවට
හිත හදා ගමි මෙහෙම

සුන්දරම සිහිවටන
හැර දමා දුරු කතර
යන්න හිත් දුන්නෙ මට
නුඹේ ඔය චපලකම

හැදු වැඩූ සෙනෙහසට
පිටුපානු බැරි කමට
මව්පියන් දුන් බසට
හිස නැවූවෙමු එලෙස

වෙනෙකුගේ සිහින තුළ
දිවි ගෙවමි කර බාන
මගේ මන්දිරය තුළ
ඔබයි රජු හැමදාම
Posted by ස්වප්නා at 20:24 1 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Wednesday, September 15, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

'ළ' කාරය

මගේ කලින් පොස්ට් එක බලලා සු෴ අහලා තිබුණ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙනවට වඩා මමත් ඉගෙන ගත්ත දේ බෙදා හදා ගත්තොත් හොඳයි කියල හිතුණා.
ඔන්න මම අලුතෙන් මුකුත් ලියන්නෙ නෑ. කියවපු ටිකම එහෙමම පළ කරන්නං.

මේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන්ගේ "බසක මහිම-4 ළ-කාර සම්මතය" යන පොතේ 23 වෙනි පරිච්ඡේදයෙන් කොටසක්:

එක් භාෂාවක් උපදින්නේ තවත් භාෂාවක් හෝ භාෂා කිහිපයක් හෝ මූලාශ්‍රය කොට ගෙනය. සිංහල භාෂාවේ උපත කෙරෙහි වඩාත් බලපෑවේ පාලි භාෂාවත් සංස්කෘත භාෂාවත්ය. පාලි භාෂාව දඹදිව භාවිත වූ මාගධී භාෂාවටත්, සංස්කෘත භාෂාව වෛදික භාෂාවටත් නෑකම් කියයි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ මාගධී භාෂාවෙනි.

සිංහලයෙහි එන 'ළ' කාරය මූර්ධජ ශබ්ධයකි. එබැවින් එහි උපත කෙරේ මූලික වශයෙන් බලපෑවේ පාලි බසෙහි හෝ සංස්කෘත භාෂාවෙහි හෝ එන මූර්ධජ ශබ්දයි. මූර්ධජ ශබ්ද අතුරින් සිංහල 'ළ' යන්න කෙරේ බලපෑවේ පහත දැක්වෙන මූර්ධජ ශබ්ද පහයි.

1.) අඝෝෂ අල්පප්‍රාණ - ට
2.) අඝෝෂ මහාපප්‍රාණ - ඨ
3.) ඝෝෂ අල්පප්‍රාණ - ද
4.) ඝෝෂ මහාපප්‍රාණ - ඪ
5.) මූර්ධජ - ළ

ඔන්න ඔය විදිහට අල්පප්‍රාණ 'ට' යන්න 'ළ' වෙච්ච වෙලාවක් තමා, "පිළිවෙළ" කියන වචනය. මෙහි පාලි වචනය "පටිපාටි". ඒක සිංහලට හැරෙනකොට "පිළිවෙළ" :)

අවස්ථා 5 ටම උදාහරණ පොතේ තියනවා.

මේ සති අග පොත් ප්‍රදර්ශනයට ගියොත් "බසක මහිම" ගන්න. :)
Posted by ස්වප්නා at 20:31 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Tuesday, September 14, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

81.) හිංසාව
82.) පිළියෙල
83.) පිළිවෙළ
84.) බොරළු
85.) ප්‍රමාණය
86.) ළා දලු
87.) යාළු මාළු
88.) කවුළුව
89.) කකුළුවා
90.) උදලු
91.) ඊළඟට
92.) මුළු ( සියල්ල )
93.) අලුයම
94.) ඔළුව
95.) චක්‍රය
96.) ග්‍රහණය
97.) ප්‍රවීණ
98.) ගැටලු
99.) මහලු
100.) ප්‍රස්තාර

ඔන්න අද වචන විස්ස. මතක තියාගන්න ලේසි විදිහක් කියන්නද?
මට නං එහෙම ලේසියි. වචනයක තියෙන්නෙ මේ අකුරුයි කියල මතක තියා ගන්න බලන්නෙ නැතුව,වචනය චිත්‍රයක් වගේ මතක තියා ගන්න.
මන්දා මම අදහස් කළ දේ පැහැදිලි උනාද කියල :(
Posted by ස්වප්නා at 19:51 7 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Monday, September 13, 2010

කලකට පසුව ඔබ හමුවේ ..



කලකට පසුව මම ඔබ යළි බැහැ දුටුවා
ඔබේ උකුළ නව මුහුණින් එළිය වෙලා
නුගේ යට අසුන් දෙක දැන් හතර වෙලා
කැන්ටිම ළඟට තව හට් එකකුත් වැටිලා

එතුණු වෙලුණු තුරු වැල් නැති පරිසරයේ
අරලිය, මාර, තණකොළ වුව සිරි මැව්වේ
ඔන්චිලි පැද්ද හැටි පොර කා එක හැටියේ
සිහිවී සිනහ නැඟ එයි මට හිටි අඩියේ

කොරිඩෝ දිගේ ඇවිදන් යයි දෙපා මගේ
කාමර වලට එබිකම් දෙයි දෙනෙත් මගේ
ශාලා පුරා විසිරී ගිය සිනා අපේ
දෝංකාර දී දෙසවන වැකී ගියේ

අපි දැන් ලොකු ළමයි වෙමු රස්සා කරන
හිනා වෙන්න එකතු වෙන්ට වෙර දරන
ඈතක දුරක වෙන් වූවත් මිතුරු කැළ
අමතක වේද සරසවියේ මල් සමය
Posted by ස්වප්නා at 20:03 8 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න ළමයි අද පාඩම !!

61.) රළ පෙරළෙනවා
62.) පසළොස්වක
63.) නුවණක්කාරයා
64.) දළදා කරඬුව
65.) ඇළ දොළ
66.) ඉරිදා පොළ
67.) පළඳනවා
68.) පිළිපැදීම
69.) හිඟය
70.) සින්දුව
71.) යාළුවා
72.) හැංගුණා
73.) පුංචි
74.) ළිඳ ළඟ
75.) සුළඟ
76.) කලුරිය
77.) සෙනග
78.) අඬනවා
79.) එළවළු
80.) වලාකුළු
Posted by ස්වප්නා at 20:01 0 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Sunday, September 12, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අද දවසට ඉගෙන ගන්න :)

41.) විකුණනවා
42.) කළගෙඩිය
43.) ලණු පොට
44.) කිණිහිරියා
45.) පැටව්
46.) තණකොළ
47.) සැඳෑ අඳුර
48.) හොරණෑව
49.) පිළිගත්තා
50.) පෙණකැටි
51.) දලු කොළ
52.) පියාඹනවා
53.) ගණක රාමු
54.) තල පැළ
55.) කඩිසරකම
56.) නෙළනවා
57.) පොළොව
58.) ගුණදායක
59.) සුවඳැල්
60.) අලුත් පණක්
Posted by ස්වප්නා at 20:51 5 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Saturday, September 11, 2010

මෝඩ කට



මහ බැංකු බෝම්බය පුපුරා ගිය කාලයේ මම නවය හෝ දහය පංතියේ උගනිමින් සිටියෙමි.
බෝම්බයක් පිපිරූ බව සැළව ගිය පසු, පන්ති කාමර සියල්ල බිරන්තට්ටු වූවා මට මතකය.
මගේ යයි කිව හැකි කිසිවකු එහි සේවය නොකළත් මගේ මිතුරියන්ගේ දෙමාපියන් එහි සේවක සේවිකාවන් වූ බැවින් මා තුළ වූයේද තිගැස්මකි.

එක් පියකු මිය ගොස් සිටියේය. ඈ මගේ ලඟම මිතුරියක නොවූවත් පංතියේ සිටි අහිංසක දැරියන්ගෙන් එක්කෙනෙකු වූවාය.
මම තවත් මිතුරියක සමඟ විස්තර කතා කරමින් උන්නෙමි.
"තාත්ත නැති වෙනවයි කියන්නෙ කොච්චර ලොකු දුකක්ද" ... එකවරම මට සිහියට නැඟියේ මා කතා බස් කරන දැරියගේද පියා කුඩා කලම මිය ගොස් ඇති වගය.
සිදුවූ වරද වසා ගන්නටත්, ඇගේ රිදුණු හිත සනසන අටියෙනුත්, "තාත්ත විතරක් මොකද .. අම්ම තාත්තා දෙන්නම නැති ළමයි ඉන්නෙ" කීවෙමි.
මගේ අරමුණ වූයේ ඇයටත් වඩා තනිකමින් ජීවත් වන ළමයින් ඇති බව ඒත්තු ගැන්වීමය.
ඇයට එක්කෙනෙකු හෝ සිටී යන ධනාත්මක මානසිකත්වය ලබා දීමය.
ඈ කිසිත් නොකියා හැඟුම් විරහිත මුහුණකින් යුතුව සිටියාය.

මගේ හිතට ඈ පිළිබඳ නැඟි කණගාටුව නොනිමියේය. මා අතින් එවන් වරදක් සිදු වූ බවට මම ඇගේ කිට්ටු මිතුරියක සමඟ කණස්සලු සහගතව පැවසීමි.
" එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. පොඩි කාලෙදිම ඇක්සිඩෙන්ට් එකකින් නැති වෙලා"
" එතකොට අර අම්ම අම්ම කියන්නෙ?"
" ඒ පුංචි අම්මාට. අම්මගෙ නංගිට"

එදා ඇතිවූ සිත් තැවුල, මගේ සිතේ අදත් එසේමය.
Posted by ස්වප්නා at 20:47 12 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අද තව කොටසක් පළ කරනවා :) තාම තුන වසරේ :)

21.) වළවල්
22.) කුකුළා
23.) ඇණය
24.) රඹුටන්
25.) කැලණිය
26.) එළිය
27.) මෑණියෝ
28.) කණ්ඩිය
29.) එළකිරි
30.) අච්චාරු
31.) පැහැදිලි
32.) කුඹුර
33.) බඹරු
34.) ඉක්මනට
35.) තීරණය
36.) උපකරණ
37.) ගණන
38.) වහළය
39.) උදාහරණ
40.) පඳුර
Posted by ස්වප්නා at 19:50 4 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Friday, September 10, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

සිංහලයේ සමහර වචන තියනව, අපිටම විස්වාස නෑ මොකක්ද හරි අකුරු ගැලපුම කියල.
පොඩ්ඩ පොඩ්ඩ මතක තියාගමු. කිහිපයක් අද පළ කරන්නං.

ඔන්න මේ වචන තියෙන්නෙ 3 වසරේ ළමයින්ට ඉගෙන ගන්න නිර්දේශ කරපු ලැයිස්තුවක.
කොහොමද තම තමන්ගේ දැනීමේ තරම කියල බලා ගන්නකො.

1.) කලබල
2.) උගුල
3.) කම්මැළි
4.) පිහාටුව
5.) පලතුරු
6.) උදව්ව
7.) ළමයි
8.) පිරිසිදු
9.) රණ්ඩුව
10.) පිළිමය
11.) මව්බිම
12.) පළාත
13.) පොකුණ
14.) මුහුණ
15.) පේළිය
16.) කූඩලු
17.) වඳුරා
18.) බබළනවා
19.) දැනුණා
20.) ඇහුණා

අදට ඇති නෙ :)
Posted by ස්වප්නා at 20:11 8 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Wednesday, September 8, 2010

කණ්ණාඩිය කන්නාඩිය



දමිළ බසින් ආපු නිසා
දමිළ අකුරු මග ගන්නා
කණ්ණාඩිය ලියපුවාම
වරදක් නෑ සිංහලයේ

සිංහල කම මුල් කරලා
බස් වහරට තැන දීලා
කන්නාඩිය ලියපුවාම
වරදක් නෑ සිංහලයේ

ණයනු නයනු දෙකම යොදා
කණ්නාඩිය ලියනු එපා
සිංහලයේ නීති රීති
නැති වෙනවා දුවේ පුතේ
Posted by ස්වප්නා at 13:42 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Tuesday, September 7, 2010

ශාන්ත



සත් වසරක පළමු පෙම බිඳී නව වසරකට පසු අද මම විවා පත් වෙමි.
සුනිල්ගේත් මගේත් මංගල පින්තූරය මැදින් මට ඔහු පෙනී නොපෙනී යයි.
ඔහු ඇත්තටම ශාන්ත විය. මම එකල සා.පෙළ පංතියේ උගත්තෙමි. මා වයසින් එතරම් නොමේරුවද, ඔහු මට වඩා වසර පහ හයකින් වැඩුමල් වූද, එය ඉතා හොඳ යෝජනාවක් වූ බැවින්, ගෙදර අයගේද අනුමැතිය ඇතිව මම ඔහුට පොරොන්දු බස් දුනිමි.

පාසල් යුගයෙන් පසු මම නිමි ඇඳුම් ෆැක්ටේරියක වැඩට ගියෙමි. ශාන්ත මා සමඟ ඇවිදින්නට යාමට සවසට එයි.
අපි අනුන්ගේ ඕපාදූපත්, අනෙකුත් නොයෙක් වල් පල් කතාත් සාකච්ඡාවට බඳුන් කලෙමු. නමුත් ඔහු මගේ මිතුරියන්ගේ පෙම්වතුන්ට වඩා වෙනස් අයෙක් විය.
මම දිනක් බලා හිඳ බැරිම තැන, "අපි ෆිල්ම් එකක් බලන්න යමු" යි යෝජනා කලෙමි. ඔහු සිනාසී මා දෙස බැලූ ආකාරයෙන් ලැජ්ජාවට පත් මම, නැවත ඔවැන්නක් නොඅසමියි ඉටා ගතිමි. සිරීපාදේ වන්දනාවේ ගිය දින ඔහු යන්තන් මට හාද්දක් දුන්නේය.

කල් යත්ම අපේ ගෙදරින් "මේවා පිළිවෙලක් වෙන්න ඕනෑයි" කියන්නට පටන් ගැනිණ. මම ශාන්තට මෙය කියූ විට, ඔහු දෑස් ලොකු කර ,දැන්ම බඳින්න හදිස්සි මොකදැයි ඇසුවේය.
ඒකත් ඇත්තය. "විසි දෙකක් කියන්නේත් වයසක්ද" මම තනිවම කල්පනා කළෙමි.
මට සියල්ලටම වඩා කේන්ති පොඩි අක්කා සමඟය. ඈ මා කසාද බැන්ඳුවොත් හොඳ යැයි අම්මාට උල්පන්දම් දෙයි.
ඇගේ සැමියා හා ඈ පෙම්වතුන් කාලයේදී, හූ කියමින් සිනා සෙමින් රබර් වතු මද්දෙන් දිවූ හැටි මට මතකය. ඔවුහු හොඳ මිතුරෝ වූහ.
"මල විකාර. නැහැදිච්ච කම" යැයි මම සිතින් බැණීමි. එලෙස මා බැන්ණේ මගේ සිතේ ඈ කෙරෙහි උපන් කෝපයෙන්ද නැතිනම් මා කෙරෙහි උපන් කණගාටුවෙන්දැයි කීමට මට තවම සැක සහිතය.

කෙසේ වුවද ගෙදර අයගේ බලවත් ඉල්ලීම පිට මා ඔහුට කෙරූ කන් කෙඳිරිය නිසා, ඔහු දෙමාපියන් සමඟ චාරිත්‍රානුකූලවා අප නිවසට පැමිණියේය.
පසුව අපේ ගෙදරින්ද ඔහුගේ නිවසට යන ලදී.
එදින අපේ ගෙදර එක මළ ගෙයක් විණි. අහස මා හිස මත කඩා වැටිණි.
"මට එයා බඳින්න බෑ" ඔහු කියා ඇත.

ඔහුත් මාත් අතර සම්බන්ධය ඇති කලේ අපගේ මිතුරියකි. ඔහුට ඊට කලින් පෙම්වතියක සිට ඇත.
ගෙදර අය මීට විරුද්ධ වූ බැවින් ඈ රට හැර ගියාය. මගේ මිතුරිය මාව ඔහුට හඳුන්වා දී ඇත්තේ පළමු කී සම්බන්ධය කැඩීමට ඒ නිවැසියන්ගේ තිබූ අවශ්‍යතාවය සලකාය.
ඔහුද ඔහුගේ ගෙදර අය රැවටුවේය. ගෙදර ඇත්තෝ ඔහු රැවටුවෝය. අන්තිමට රැවටුනේ මාය.
ඔහුගේ පළමු පෙම දැන් නැවත මෙරට පැමිණ ඇත. ඔහු ඇගේ අත පතයි. මා නොපතයි.

මගේ මිතුරිය ගැන මට ඇත්තේ කෝපයකි. ශාන්ත ගැන මට ඇති හැඟීම, වංචාකාරයකු කෙරෙහි ඇතිවන කෝපයක්ද, බියගුල්ලෙකු කෙරෙහි ඇතිවන පිළිකුලක්ද, අසරණයකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක්ද කියා දැන ගැනීම ගැටළු සහගතය.
"ඔයා වොෂ් දැම්මද?" ඒ සුනිල්ය. ඔහු මට පෙම් කරන්නේද තියා, මා ඔහුට පෙම් කරන්නේද වත් මම නොදනිමි.
"මොකා උනත් අන්තිමට ඔච්චරයි" මම හිත හදා ගනිමි. "ඔහොම යනකොට ආදරේ වෙයි"
Posted by ස්වප්නා at 20:08 7 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

Thursday, September 2, 2010

දිනුම් පැරදුම්



අපි ඔවුන් බැලීමට ගියෙමු. ඔහු නිවැරදිය. ඒ අවුරුදු 7 කට පමණ පසු විය යුතුය. අප අවසන් වරට පැමිණි
කාලයද ඔහුට හරි හැටි මතක ඇති සේය.
මගේ දෙමවුපියන් කොළඹ වුවත්, මගේ ගම රජ රටය. ඒ මා ඔවුන් දුෂ්කර සේවයේ යෙදී සිටියදී ලැබූ දරුවා වූ බැවිනි.
රජරට වැව් දිය පිස ගෙන එන සුළඟත්, දූවිලි වැකි උණුසුම් මාරුතයටත් මම එක සේ පෙම් කරන්නේ, රජරට ජීවියෙකුගේ ආත්මයක් ලද්දෙක් නිසාවනැයි දැනටත් සිතමි.
දුෂ්කර සේවය හමාර කොට නැවත කොළඹ පැමිණි පසුත්, වසරක් පාසාම රජරට යන්නට මගේ දෙමව්පියන් පෙළඹවූයේ, එහි මිනිසුන්ගේ ගැහෙන උණුසුම් හදවත්ය.

අපට එහි මිතුරන් බොහෝ දෙනෙක් වූ නිසා, ඒකනායක ගෙදරට යන විට කළුවර වැටෙන්නට ඔන්න මෙන්නය.
"අපෙ අප්පේ... අන්කල්" ඔහු වෙනදා මෙන්ම සුපුරුදු සෙනෙහසින් තාත්තා පිළිගනු මට ඇසිණි. ඔහු මට වඩා වසර 2ක් වැඩිමහල් වූ බැවිනුත්, ඔහුගේ අනික් මල්ලිලාට පෙර මා ඔහුට නැඟනිය වූ බැවිනුත් ඔහුත් මාත් අතර වූයේ ඉතා කුළුපග සහෝදර බැඳීමකි. කුඩා කල අයියා මා නැළවූ හැටි, මා බලාගත් හැටි ඒකනායක ඇන්ටී කියන්නේ හද පිරි සතුටිනි.
මගේ රන් කිරි කට ගෑවේද ඈ ලු. තමාගේ මුද්ද කිරෙහි දමා උරච්චි කොට, බිළිඳියගේ දෙතොලේ තැබූ අයුරු කියා ඈ මා ආදරයෙන් වැළඳ ගනී.

කොතරම් බැඳිමක් තිබුණද ඒකනායක අන්කල් මිය ගිය වේලේ අපට යන්නට බැරි විය. ඔහු මිය ගිය බව අපට ආරන්චි වූයේ දින ගණනක් පසු වීය. තුන් මාසේ දානයට යමුයි සිතා සිටි අප අවසන ගියේ මාස ගණනකට පසුය. ඒ යන විට ගෙදර කිසිවකු නොසිටි බැවින් අපි කණගාටුවෙන් හැරී ආමු.

"උඹ නිසා අපිට යාළු කමුත් නැති උනා" අම්මා මට චෝදනා කල වාර ඇත. අයියා මට අයියා කෙනෙකුට වඩා ආදරේ බව මට දැණුනු විට මම ඔහු කිරා බැලීමි. අප කොපමණ යාළු වුවත්, ඔහුගේ ජීවන රටාවත් මගේ ජීවන රටාවත් වෙනස්ය.
මම ටික කලකින් උපාධිධාරියකු වන්නෙමි. ඔහු නිකන්ම නිකං උ.පෙළ සමත් පමණි. තව බොහෝ වෙනස් කම් ඇත. ඔහු අප නිවසට පැමිණි විට මම ඔහු මඟ හැරින්නටත්, අඩුවෙන් කතාකිරීමටත් පුරුදු වීමි. සමහර දවසක මම එළියට නොපැමිණියෙමි.
අම්මා මා සමඟ තදින් කෝප වූවා මට මතකය. "නොකෙරෙන කෙහෙල්මල් වලට හෝප්ස් දෙන්න මම කැමති නෑ". පසුව ඒකනායක ඇන්ටීද අම්මා සමඟ දුරකථන කතා බහ අඩු කෙරිණි.

මම නිවසට ගොඩ වූයේ චකිතයෙනි. ඔහුද මා සමඟ කතා නොකලේය. " දැන් ඉස්සර වගේ දෙකක් වෙලා" මම කතාව ඇරඹීමි. අයියා සිනාසුණේය.
මම දෙවන වර තිගැස්මට ලක් වූයේ ඔහුගේ බිරිඳ දැකීමෙනි. අයියා විවා පත් බව මම දැන සිටියෙමි. නමුත් ඇගේ බාහිර ස්වරූපය මා වැනිම බව මම නොදැන සිටියෙමි.
"අපිට දැන් චූටියෙක් ඉන්නවා". පෙර මා දෙස බලා දිලිසුණු දෑස් දැන් දිලිසෙන්නේ දරුවා ගැනය. ඔහු දැන් පියෙකි. ඔහු කෙරෙන් මා වෙත ඇත්තේ හිස් හැඟීමකි. මම කවුද ....
අයියා කාමරයට ගොස්, හුරුබුහුටි, පුෂ්ටිමත්, පියකරු, සුරතල් බිළිඳියක වඩාගෙනවුත් අම්මාගේ අතේ තැබුවේය.

නොබෝ වෙලාවකින් ඇය මා හා මිතුරු වූවාය. මම දැරිය අතට ගත්තෙමි.
"දැන් නංගි කොහෙද වැඩ කරන්නෙ?" මම කෙටි පිළිතුරක් දිනිමි.
"කොහේ හිටියත් ඉතින් ඉංජිනේරුවෙක් වෙන්න ඇති" ඔහු සැමදා මා අගය කළේය. සුදු, ලස්සන, දක්ෂ, ........ හිතුවක්කාර යැයි කියා මට බැණ්නේත් මා ඉන් තවත් ඉදිමෙන ආකාරයෙන් මිස, මගේ සිත තැලෙන අයුරින් නොවේ.
අපි ඔන්චිලි පැද්දෙමු. සියඹලා කැඩුවෙමු. ඔහු කවදත් මගේ ඉල්ලීමක් වීසි නොකරයි.
කාඩ් සෙල්ලම් කලෙමු. දාම් ඇදීමු. මා රණ්ඩු කෙක්කය. ඔහු සැමවිට මා අවුස්සා සිනාසෙයි.

"කොළඹට කිරි, අපිට කැකිරි" පාසල් වියේ ඔහු නිතර කියූවකි.
"කෙහෙල්මල, කොළඹ කිරි වලට වඩා රජරට කැකිරි හොඳයි" මට සිතේ.
"නංගි බැඳලද?"
"තාම හොයනව" මම මගේ සුපුරුදු කැත්තෙන් පොල්ලෙන් වචන වලින් සහ අසංවර සිනහවෙන් පිළිතුරු දිනිමි.
කොහොමටත් මේ පොදු පැනයට පිළිතුරු සැපයීම මඟ හැරීමට මා සැමදා දක්ෂය. මුඛරි කමින් මොනවා හෝ කියා, අනෙකා සිනහ ගන්වා මම ප්‍රශ්නයෙන් පැන යමි.

මාත් ඔහුත් අතර වචන දහයකට පහළොවකට වඩා කතාවක් සිදු නොවිණි. මගේ අවධානය නිරතුරු රැඳී තිබුණේ, මගේ අතේ හුන් ඔහුගේ දියණිය කෙරෙහිය. ඈ එතරම්ම ලස්සන බිළිඳියක් වූවාය.

අයියාගේ බිරිඳ පියකරුය. සුන්දරය. ඒ ඈ මා මෙන් නපුරියක නොවූ බැවිනැයි මට සිතේ.
රජරටට යන ගමනේදී "ඔයා තනියෙන්" කියා මා කොනිති ගැන්වූ මගේ සිත, රජරටින් එන ගමනේදී "අයියා ඔයාට හිනා වෙනවා ඇති" කියා හොල්මන් කරන්නට විය.
"නෑ. අයියා මට හිනා වෙන්නෙ නෑ. එයා මට ආදරෙයි" මම තදින් කියා සිටියෙමි.
Posted by ස්වප්නා at 17:34 12 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ▼  September (17)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • රාජකාරිය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සිඟන්නී
      • හරිද? වැරදිද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කලකට පසුව ඔබ හමුවේ ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මෝඩ කට
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කණ්ණාඩිය කන්නාඩිය
      • ශාන්ත
      • දිනුම් පැරදුම්
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio