skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, January 5, 2011

විසිරිලා විසිරිලා විසිරිලා


ලොකූ කොළ ගොඩක්
මහා සුළඟකට අහු වෙලා
අංශක තුන්සිය හැටටම විසිරෙනවා වගේ

වදකාර හිත
කිසිම තැන්පත් කමක් නැතුව
හැමතැනම දුවන්නෙ
මොනව වෙලාද මන්ද ...
Posted by ස්වප්නා at 20:29 11 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Monday, January 3, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න 2011 වසරේ පළමු පාඩම :)
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)

361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:45 5 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Saturday, January 1, 2011

විදූ සහ මම

ඔන්න හා හා පුරා කියලා නව වසරට වැඩ අල්ලන්න හිතාගෙන අපි ගියා "විදූ" බලන්න.
අපි කිව්වෙ, අම්මයි මමයි. තාත්තටත් එන්න විදිහක් නෑ, මහරගම පිළිකා රෝහලට ඒගොල්ලො බේත් දන් දෙන පුණ්‍ය කටයුත්තක්. අපි දෙන්නා ඉතින් බෙල්ලන්විල පන්සලුත් වැඳගෙනම චිත්තරපටිය බලන්න ගියා.
ඕකනෙ ඉතින් වල් පල් කියනවා කියන්න ආපු කාරණේ අමතක කරලා.

අවංකවම, විදූ හොඳ චිත්‍රපටියක්.
විදූ කරන දේවල් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, හැරී පොටර් වීරයින් වන ලෝකයේ ඔහු ඉතාම යථාර්ථවාදී වීරයෙක්.
විදූ ඔබේ වටිනාකම පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔබ එය ගොඩ නගා ඇතිදැයිද, ඔබ එය ගොඩ නඟා ගත්තේ කෙසේදැයි ද, ඔබගේ නියම වටිනාකම ඔබට ලැබී ඇති දැයි ද ප්‍රශ්න කරනවා.
මට වෙලාවකට හිතෙනවා, විදූ කියන්නෙ ලාංකීය සමාජයෙන් නිසි වටිනාකමක් ලබා නොදුන් හා, ලාංකීය සමාජය විසින් වටිනාකමක් හඳුනා නොගත්; හඳගමගේ පෙර සිනමා නිර්මාණ මතින් ගොඩ නැඟුණු අදහසක්ද කියලත්.
හඳගමගේ මුල් නිර්මාණ කිසිවක්, ජැක්සන් ඇන්තනීගේ අබා හෝ සෝමරත්න දිසානායකගේ සරෝජා හෝ සූරිය අරණ හෝ තරම් ආදායම් නොඉපයූ බව නිසැකයි.

කොහොම නමුත් ඒ අස්සේ මට වෙච්චි දේත් අහන්නකෝ.
ඔන්න ඉතින් මම ටිකට් දෙකක් ගත්තා. 2000 කොළයක් දුන්නා. ආයි මගෙන් කවුන්ටරේ මනුස්සය රු.100 කුත් ඉල්ල ගත්තා.
බැල්කනි ටිකට් එකක් රු.300. දැන් ඉතිරි කීයක් වෙන්න ඕනෙද ළමයිනේ?
1500 ක් හම්බ වෙන්න එපැයි :(
හම්බ උනේ රු.500. මගේ සිහි බුද්ධියේ හොඳ කමට රු.1000 කුත් තව ලැබෙන්න ඕනෙ කියල මතක් උනේ ගෙදරට කිට්ටු කරල..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
දැන් ඉතින් ආයි රීගල් එකට යන්නද?
රුපියලට දෙකට ලෝබ කරන ස්වප්නාට 1000 කොළයක් පිටින්ම අන්තර්ස්ධාන උනාම මොන තරන් විස්සෝපයක් ඇද්ද?
හපෝ.....යි :)
:( :D
Posted by ස්වප්නා at 20:18 13 විවේචන
වර්ගීකරණය: සමාජ සිද්ධි

වෘත්ත චලිතය

කාලයක සිට නින්ද නොයෑමේ තත්වයකින් පෙළුනෙමි. ඇඳුම් මසන්නට, කොට්ට උර වලට මල් මහන්නට ඇති පුරුද්ද නිසා, රෑ නිදි වරන්නේ කුමටදැයි අසූ විට, අම්මාට දෙන්නට පිළිතුරක් මා සතු විය.
එනමුදු, "ඔය හැටි නිදි මරං මහන්න ඔය ළමය රස්සාවට ඕක කරනවාද" යි ඇසූ විට මම නිරුත්තර වෙමි. "අනේ මන්ද අම්මේ, නින්ද යන්නෙ නෑ" යි කීමට මට සිත් නොදේ. ඒ, එම පිළිතුර ඇගේ නින්ද මීළඟට සොරා ගනු ඇති බැවිනි.

ඔහු මට හමු වුයේ මගේ පළමු පත්වීම ලද පාසලේදීය. අපි ඉතා කුළුපග මිතුරන් වීමු.
ඔහුගේ දෑස් තුළින් මා දකින මම පුදුමයට පත් වීමි. මා හා හිනැහෙන ඒ ඇස් දිදුළයි.
මුවින් නොදෙඩූ කතාවක් දෑසින් පවසන විට කෙතරම් සුන්දරද...
මම ඔහුට පෙම් බැඳීමි. කිසි දිනක නොබිනූ පෙම හිත තුළ දළු ලා වැඩෙන්නට වැඩෙන්නට මා තවත් අපහසුතාවයට පත් වීම පමණි සිදු වූයේ.

"මම ඔයාට දෙයක් කියන්න තියනවා"
"මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ"
"අපිට අද හවසට පොඩ්ඩක් මුණ ගැහෙන්න බැරිද?"

කියා ඇරඹී, "මම ඔයාට කැමති", "ආදරෙයි", "මට ඔයා ඕනෙ" කියන තුරු මම බලා හුනිමි.

කිසිදු දිනක ඔහු අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේය.

"මොන විකාරයක් ද" මිතුරියෝ කීහ. "මගේ එයා ගැන එහෙම අදහසක් නෑ.. එයා මට හොඳ යාළුවෙක් විතරයි"
මම හැඬීමි. "අවුරුදු 2 කටත් වැඩිය ඉතින් කැමති නං නාහ ඉන්නෙත් නෑනෙ" හිතවත් ගුරුවරු කීහ. "මගෙත් එක්ක එල්ලි එල්ලි ඔච්චර කියවන්න ආවෙ මොන කෙහෙල්මලකටද" .. පාන්දර දෙකට දෙමව්පියෝ මා පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගෙන ගියහ.
"ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා" මම කීමි. දොස්තරටද එය ඇත්තය.
"පපුවෙ මැද හරියෙන්ද රිදෙන්නෙ? පැත්තකින්ද?"
"උදේට කන්නෙ කීයටද?"
"දවල්ට?"
"රෑට?"
"ම්ම්ම්ම් බලන්නකො මේ කාල අතර තියන ගැප් එක"
"මුළු දවසෙම ටික ටික කන්න.. හොඳ වෙනකන්"
මම හිස වැනීමි.

සතියක් ලෙඩ නිවාඩු දමා ගෙදර නැවති මම යළි පාසලට ගියේ ඔහු නොදකිමී තිර අදිටනිනි.
"ඔයාට කොහොමද?"
"ලැජ්ජාවක් නැතිව කතා කරන්න එන හැටි" මට ඔහු රිදවන්ට බැරිය. නැවත හඬන්නටද බැරිය.

මාරු වීම් අවස්ථා ආ මොහොතේම මම වෙනත් පාසලක් ඉල්ලීමි.
අප වෙන් වන දිනය පැමිණියේය. මට එය මහත් ඇස්වැසිල්ලකි.
මින්පසු මට ඔහු නොපෙනේ. මුණ නොගැසේ. කොපමණ හොඳද? දුටු විට ඇති වන ලතැවිල්ල, නොදුටු කල කල් යත්ම පහව යනු ඇත.

අප වෙන්වී දැනට වසර පහකි.
"මෙයාට දැන් මම පරස්තා හොයන එක නවත්තල තියෙන්නෙ. බඳිනව නං බැඳපුදෙන්, නැත්තන් ඔහෙ හිටියාවෙ" අම්මා ඇගේ උත්සාහය අතහැර දැම්මේ යෝජිත තරුණයින් දහ පහලොස් දෙනෙකුන් පමණ සමඟම මගේ සාම කතා අසාර්ථක වූවාට පසුවය.

පාසල් නිවාඩු කාලය හමාර වීමට ආසන්නය. නව වසරේ, නව ගුරු මාරු සමඟ ඔහුගේ නමද අපේ පාසලේ ලැයිස්තුවට ඇතුළත්ය.
මට හැඬුම් ඒ. ඔහුද තවමත් අවිවාහක බව මම දනිමි.

"ආයි එයාට මාව නටවන්න දෙන්නෙ නෑ මම.. හහ්"

"අනේ.. මාව ආයි අසරණ කරන්න එපා.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.."

"එයා එයාගෙ ආදරේ අඳුරගෙන ඇත්තෙ දැන් නං.."

".........."

"මට ඔයාට දෙයක් කියන්න තියනවායි කියයිද? ..."
Posted by ස්වප්නා at 00:09 14 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ▼  2013 (3)
    • ▼  October (1)
      • සමනල සංධ්වනිය බලන්න !!!
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio