skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, September 10, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

සිංහලයේ සමහර වචන තියනව, අපිටම විස්වාස නෑ මොකක්ද හරි අකුරු ගැලපුම කියල.
පොඩ්ඩ පොඩ්ඩ මතක තියාගමු. කිහිපයක් අද පළ කරන්නං.

ඔන්න මේ වචන තියෙන්නෙ 3 වසරේ ළමයින්ට ඉගෙන ගන්න නිර්දේශ කරපු ලැයිස්තුවක.
කොහොමද තම තමන්ගේ දැනීමේ තරම කියල බලා ගන්නකො.

1.) කලබල
2.) උගුල
3.) කම්මැළි
4.) පිහාටුව
5.) පලතුරු
6.) උදව්ව
7.) ළමයි
8.) පිරිසිදු
9.) රණ්ඩුව
10.) පිළිමය
11.) මව්බිම
12.) පළාත
13.) පොකුණ
14.) මුහුණ
15.) පේළිය
16.) කූඩලු
17.) වඳුරා
18.) බබළනවා
19.) දැනුණා
20.) ඇහුණා

අදට ඇති නෙ :)
Posted by ස්වප්නා at 20:11 8 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Wednesday, September 8, 2010

කණ්ණාඩිය කන්නාඩිය



දමිළ බසින් ආපු නිසා
දමිළ අකුරු මග ගන්නා
කණ්ණාඩිය ලියපුවාම
වරදක් නෑ සිංහලයේ

සිංහල කම මුල් කරලා
බස් වහරට තැන දීලා
කන්නාඩිය ලියපුවාම
වරදක් නෑ සිංහලයේ

ණයනු නයනු දෙකම යොදා
කණ්නාඩිය ලියනු එපා
සිංහලයේ නීති රීති
නැති වෙනවා දුවේ පුතේ
Posted by ස්වප්නා at 13:42 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Tuesday, September 7, 2010

ශාන්ත



සත් වසරක පළමු පෙම බිඳී නව වසරකට පසු අද මම විවා පත් වෙමි.
සුනිල්ගේත් මගේත් මංගල පින්තූරය මැදින් මට ඔහු පෙනී නොපෙනී යයි.
ඔහු ඇත්තටම ශාන්ත විය. මම එකල සා.පෙළ පංතියේ උගත්තෙමි. මා වයසින් එතරම් නොමේරුවද, ඔහු මට වඩා වසර පහ හයකින් වැඩුමල් වූද, එය ඉතා හොඳ යෝජනාවක් වූ බැවින්, ගෙදර අයගේද අනුමැතිය ඇතිව මම ඔහුට පොරොන්දු බස් දුනිමි.

පාසල් යුගයෙන් පසු මම නිමි ඇඳුම් ෆැක්ටේරියක වැඩට ගියෙමි. ශාන්ත මා සමඟ ඇවිදින්නට යාමට සවසට එයි.
අපි අනුන්ගේ ඕපාදූපත්, අනෙකුත් නොයෙක් වල් පල් කතාත් සාකච්ඡාවට බඳුන් කලෙමු. නමුත් ඔහු මගේ මිතුරියන්ගේ පෙම්වතුන්ට වඩා වෙනස් අයෙක් විය.
මම දිනක් බලා හිඳ බැරිම තැන, "අපි ෆිල්ම් එකක් බලන්න යමු" යි යෝජනා කලෙමි. ඔහු සිනාසී මා දෙස බැලූ ආකාරයෙන් ලැජ්ජාවට පත් මම, නැවත ඔවැන්නක් නොඅසමියි ඉටා ගතිමි. සිරීපාදේ වන්දනාවේ ගිය දින ඔහු යන්තන් මට හාද්දක් දුන්නේය.

කල් යත්ම අපේ ගෙදරින් "මේවා පිළිවෙලක් වෙන්න ඕනෑයි" කියන්නට පටන් ගැනිණ. මම ශාන්තට මෙය කියූ විට, ඔහු දෑස් ලොකු කර ,දැන්ම බඳින්න හදිස්සි මොකදැයි ඇසුවේය.
ඒකත් ඇත්තය. "විසි දෙකක් කියන්නේත් වයසක්ද" මම තනිවම කල්පනා කළෙමි.
මට සියල්ලටම වඩා කේන්ති පොඩි අක්කා සමඟය. ඈ මා කසාද බැන්ඳුවොත් හොඳ යැයි අම්මාට උල්පන්දම් දෙයි.
ඇගේ සැමියා හා ඈ පෙම්වතුන් කාලයේදී, හූ කියමින් සිනා සෙමින් රබර් වතු මද්දෙන් දිවූ හැටි මට මතකය. ඔවුහු හොඳ මිතුරෝ වූහ.
"මල විකාර. නැහැදිච්ච කම" යැයි මම සිතින් බැණීමි. එලෙස මා බැන්ණේ මගේ සිතේ ඈ කෙරෙහි උපන් කෝපයෙන්ද නැතිනම් මා කෙරෙහි උපන් කණගාටුවෙන්දැයි කීමට මට තවම සැක සහිතය.

කෙසේ වුවද ගෙදර අයගේ බලවත් ඉල්ලීම පිට මා ඔහුට කෙරූ කන් කෙඳිරිය නිසා, ඔහු දෙමාපියන් සමඟ චාරිත්‍රානුකූලවා අප නිවසට පැමිණියේය.
පසුව අපේ ගෙදරින්ද ඔහුගේ නිවසට යන ලදී.
එදින අපේ ගෙදර එක මළ ගෙයක් විණි. අහස මා හිස මත කඩා වැටිණි.
"මට එයා බඳින්න බෑ" ඔහු කියා ඇත.

ඔහුත් මාත් අතර සම්බන්ධය ඇති කලේ අපගේ මිතුරියකි. ඔහුට ඊට කලින් පෙම්වතියක සිට ඇත.
ගෙදර අය මීට විරුද්ධ වූ බැවින් ඈ රට හැර ගියාය. මගේ මිතුරිය මාව ඔහුට හඳුන්වා දී ඇත්තේ පළමු කී සම්බන්ධය කැඩීමට ඒ නිවැසියන්ගේ තිබූ අවශ්‍යතාවය සලකාය.
ඔහුද ඔහුගේ ගෙදර අය රැවටුවේය. ගෙදර ඇත්තෝ ඔහු රැවටුවෝය. අන්තිමට රැවටුනේ මාය.
ඔහුගේ පළමු පෙම දැන් නැවත මෙරට පැමිණ ඇත. ඔහු ඇගේ අත පතයි. මා නොපතයි.

මගේ මිතුරිය ගැන මට ඇත්තේ කෝපයකි. ශාන්ත ගැන මට ඇති හැඟීම, වංචාකාරයකු කෙරෙහි ඇතිවන කෝපයක්ද, බියගුල්ලෙකු කෙරෙහි ඇතිවන පිළිකුලක්ද, අසරණයකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක්ද කියා දැන ගැනීම ගැටළු සහගතය.
"ඔයා වොෂ් දැම්මද?" ඒ සුනිල්ය. ඔහු මට පෙම් කරන්නේද තියා, මා ඔහුට පෙම් කරන්නේද වත් මම නොදනිමි.
"මොකා උනත් අන්තිමට ඔච්චරයි" මම හිත හදා ගනිමි. "ඔහොම යනකොට ආදරේ වෙයි"
Posted by ස්වප්නා at 20:08 7 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

Thursday, September 2, 2010

දිනුම් පැරදුම්



අපි ඔවුන් බැලීමට ගියෙමු. ඔහු නිවැරදිය. ඒ අවුරුදු 7 කට පමණ පසු විය යුතුය. අප අවසන් වරට පැමිණි
කාලයද ඔහුට හරි හැටි මතක ඇති සේය.
මගේ දෙමවුපියන් කොළඹ වුවත්, මගේ ගම රජ රටය. ඒ මා ඔවුන් දුෂ්කර සේවයේ යෙදී සිටියදී ලැබූ දරුවා වූ බැවිනි.
රජරට වැව් දිය පිස ගෙන එන සුළඟත්, දූවිලි වැකි උණුසුම් මාරුතයටත් මම එක සේ පෙම් කරන්නේ, රජරට ජීවියෙකුගේ ආත්මයක් ලද්දෙක් නිසාවනැයි දැනටත් සිතමි.
දුෂ්කර සේවය හමාර කොට නැවත කොළඹ පැමිණි පසුත්, වසරක් පාසාම රජරට යන්නට මගේ දෙමව්පියන් පෙළඹවූයේ, එහි මිනිසුන්ගේ ගැහෙන උණුසුම් හදවත්ය.

අපට එහි මිතුරන් බොහෝ දෙනෙක් වූ නිසා, ඒකනායක ගෙදරට යන විට කළුවර වැටෙන්නට ඔන්න මෙන්නය.
"අපෙ අප්පේ... අන්කල්" ඔහු වෙනදා මෙන්ම සුපුරුදු සෙනෙහසින් තාත්තා පිළිගනු මට ඇසිණි. ඔහු මට වඩා වසර 2ක් වැඩිමහල් වූ බැවිනුත්, ඔහුගේ අනික් මල්ලිලාට පෙර මා ඔහුට නැඟනිය වූ බැවිනුත් ඔහුත් මාත් අතර වූයේ ඉතා කුළුපග සහෝදර බැඳීමකි. කුඩා කල අයියා මා නැළවූ හැටි, මා බලාගත් හැටි ඒකනායක ඇන්ටී කියන්නේ හද පිරි සතුටිනි.
මගේ රන් කිරි කට ගෑවේද ඈ ලු. තමාගේ මුද්ද කිරෙහි දමා උරච්චි කොට, බිළිඳියගේ දෙතොලේ තැබූ අයුරු කියා ඈ මා ආදරයෙන් වැළඳ ගනී.

කොතරම් බැඳිමක් තිබුණද ඒකනායක අන්කල් මිය ගිය වේලේ අපට යන්නට බැරි විය. ඔහු මිය ගිය බව අපට ආරන්චි වූයේ දින ගණනක් පසු වීය. තුන් මාසේ දානයට යමුයි සිතා සිටි අප අවසන ගියේ මාස ගණනකට පසුය. ඒ යන විට ගෙදර කිසිවකු නොසිටි බැවින් අපි කණගාටුවෙන් හැරී ආමු.

"උඹ නිසා අපිට යාළු කමුත් නැති උනා" අම්මා මට චෝදනා කල වාර ඇත. අයියා මට අයියා කෙනෙකුට වඩා ආදරේ බව මට දැණුනු විට මම ඔහු කිරා බැලීමි. අප කොපමණ යාළු වුවත්, ඔහුගේ ජීවන රටාවත් මගේ ජීවන රටාවත් වෙනස්ය.
මම ටික කලකින් උපාධිධාරියකු වන්නෙමි. ඔහු නිකන්ම නිකං උ.පෙළ සමත් පමණි. තව බොහෝ වෙනස් කම් ඇත. ඔහු අප නිවසට පැමිණි විට මම ඔහු මඟ හැරින්නටත්, අඩුවෙන් කතාකිරීමටත් පුරුදු වීමි. සමහර දවසක මම එළියට නොපැමිණියෙමි.
අම්මා මා සමඟ තදින් කෝප වූවා මට මතකය. "නොකෙරෙන කෙහෙල්මල් වලට හෝප්ස් දෙන්න මම කැමති නෑ". පසුව ඒකනායක ඇන්ටීද අම්මා සමඟ දුරකථන කතා බහ අඩු කෙරිණි.

මම නිවසට ගොඩ වූයේ චකිතයෙනි. ඔහුද මා සමඟ කතා නොකලේය. " දැන් ඉස්සර වගේ දෙකක් වෙලා" මම කතාව ඇරඹීමි. අයියා සිනාසුණේය.
මම දෙවන වර තිගැස්මට ලක් වූයේ ඔහුගේ බිරිඳ දැකීමෙනි. අයියා විවා පත් බව මම දැන සිටියෙමි. නමුත් ඇගේ බාහිර ස්වරූපය මා වැනිම බව මම නොදැන සිටියෙමි.
"අපිට දැන් චූටියෙක් ඉන්නවා". පෙර මා දෙස බලා දිලිසුණු දෑස් දැන් දිලිසෙන්නේ දරුවා ගැනය. ඔහු දැන් පියෙකි. ඔහු කෙරෙන් මා වෙත ඇත්තේ හිස් හැඟීමකි. මම කවුද ....
අයියා කාමරයට ගොස්, හුරුබුහුටි, පුෂ්ටිමත්, පියකරු, සුරතල් බිළිඳියක වඩාගෙනවුත් අම්මාගේ අතේ තැබුවේය.

නොබෝ වෙලාවකින් ඇය මා හා මිතුරු වූවාය. මම දැරිය අතට ගත්තෙමි.
"දැන් නංගි කොහෙද වැඩ කරන්නෙ?" මම කෙටි පිළිතුරක් දිනිමි.
"කොහේ හිටියත් ඉතින් ඉංජිනේරුවෙක් වෙන්න ඇති" ඔහු සැමදා මා අගය කළේය. සුදු, ලස්සන, දක්ෂ, ........ හිතුවක්කාර යැයි කියා මට බැණ්නේත් මා ඉන් තවත් ඉදිමෙන ආකාරයෙන් මිස, මගේ සිත තැලෙන අයුරින් නොවේ.
අපි ඔන්චිලි පැද්දෙමු. සියඹලා කැඩුවෙමු. ඔහු කවදත් මගේ ඉල්ලීමක් වීසි නොකරයි.
කාඩ් සෙල්ලම් කලෙමු. දාම් ඇදීමු. මා රණ්ඩු කෙක්කය. ඔහු සැමවිට මා අවුස්සා සිනාසෙයි.

"කොළඹට කිරි, අපිට කැකිරි" පාසල් වියේ ඔහු නිතර කියූවකි.
"කෙහෙල්මල, කොළඹ කිරි වලට වඩා රජරට කැකිරි හොඳයි" මට සිතේ.
"නංගි බැඳලද?"
"තාම හොයනව" මම මගේ සුපුරුදු කැත්තෙන් පොල්ලෙන් වචන වලින් සහ අසංවර සිනහවෙන් පිළිතුරු දිනිමි.
කොහොමටත් මේ පොදු පැනයට පිළිතුරු සැපයීම මඟ හැරීමට මා සැමදා දක්ෂය. මුඛරි කමින් මොනවා හෝ කියා, අනෙකා සිනහ ගන්වා මම ප්‍රශ්නයෙන් පැන යමි.

මාත් ඔහුත් අතර වචන දහයකට පහළොවකට වඩා කතාවක් සිදු නොවිණි. මගේ අවධානය නිරතුරු රැඳී තිබුණේ, මගේ අතේ හුන් ඔහුගේ දියණිය කෙරෙහිය. ඈ එතරම්ම ලස්සන බිළිඳියක් වූවාය.

අයියාගේ බිරිඳ පියකරුය. සුන්දරය. ඒ ඈ මා මෙන් නපුරියක නොවූ බැවිනැයි මට සිතේ.
රජරටට යන ගමනේදී "ඔයා තනියෙන්" කියා මා කොනිති ගැන්වූ මගේ සිත, රජරටින් එන ගමනේදී "අයියා ඔයාට හිනා වෙනවා ඇති" කියා හොල්මන් කරන්නට විය.
"නෑ. අයියා මට හිනා වෙන්නෙ නෑ. එයා මට ආදරෙයි" මම තදින් කියා සිටියෙමි.
Posted by ස්වප්නා at 17:34 12 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ▼  2013 (3)
    • ▼  October (1)
      • සමනල සංධ්වනිය බලන්න !!!
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio