Saturday, November 27, 2010
හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
අට්ඨකථා සහිත ථෙරී ගී කියවීමට මා තුළ ආශාවක් ජනිත වූයේ අ.පො.ස.( උ.පෙළ ) කරනා කාලයේදී තේරී ගී සිංහල පරිවර්තනයක් කියවීමෙන් අනතුරුවය. . කෙසේ වුවත් අට්ඨ කතා සහිත ථෙරී ගාථා සිංහල පරිවර්තනයක් මට හමු වූයේ මෙවර පොත් ප්‍රදර්ශනයට ගිය මොහොතේදීය. පොත කියවෙන්නේ දැන්ය. කුසුම් දිසානායක මහත්මිය විසින් පරිවර්තනය කරනු ලදුව ඇති, ථෙරී ගාථා සහ අට්ඨකථා කියවීමේදී, ඇති වූ සතුට නිසාම සුළුවෙන් හෝ ඒ පිළිබඳ ලිපියක් පළ කළ යුතු යැයි මගේ සිත මට කීය.
සියලු උපුටා ගැනීම් : කුසුම් දිසානායක මහත්මියගේ "තෙරණී ගී" පොතෙනි
උපුටා ගැන්ම 1:
කාන්තා ජීවිතය පිළිබඳ පැරණිතම තොරතුරු සමහරක් සඳහන්ව ඇත්තේ ථෙරි ගාථා වලය. බුදුන් ජීවමාන කාලයේ දී ම නැතහොත් ඒ ආසන්න කාලයේම වාසය කල තෙරණියන් වහන්සේලා හැත්තෑ තුන් දෙනෙකු විසින් ගයන ලදුව සැලකෙන මේ ගාථා ආගමික හා සාහිත්‍යයික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මක වශයෙන්ද වැදගත් වෙයි.
ථෙරිගාථා ඇතුළත් වනුයේ සූත්‍ර පිටකයේ බුද්දක නිකායයෙහිය. ක්‍රි.පූ.අසූවේදී පමණ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන තෙක් කටින් කට පැවත ආ ථෙර ගාථා හා ථෙරි ගාථා එවක මෙසේ බුද්දක නිකායෙහි සංගෘහිතව ග්‍රන්ථාරූඪ විය. ක්‍රි.ව. පස්වන හෝ හයවන ශත වර්ෂයේදී දකුණු ඉන්දියාවේ කාංචිපුර විසූ ධම්මපාල නම් තෙරණුවෝ මේ ථෙරි ගාථා ඒවායේ අට්ඨකථා ද සහිතව නැවත ලිවූහ. මහා පංචරී සහ කුරුන්දි අට්ඨ කථා ද උපකාර කරගෙන මෙම පුවත් ලියූ බව කියවෙයි. අපදාන පුවත් ද ඇතුළත් මේවා "පරමත්ථදීපනී" නමින් සංග්‍රහ විණ. ගාථා 521 ඇතුළත් ථෙරිගාථ නිපාත 16 කට බෙදා පරමත්ථදීපනියෙහි ඇතුළත් වෙයි. නිපාත වශයෙන් වෙන් කර ඇත්තේ ඒ ඒ තෙරණියන් වහන්සේලා විසින් ගයන ලද ගාථා සංඛ්‍යාව අනුවය.
උපුටා ගැන්ම 2:
ඓතිහාසිකව, සැබැවින් ම ජීවත් වූ පුද්ගලයන් වශයෙන් වැදගත් වන අය අතර මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන වෙයි. මෙහෙණි සස්න ඇරඹුණේ ඇය නිසාය. ඒ පිළිබඳ පුවත, ඇයගේ ගාථා හා සම්බන්ධ කතා පුවතෙහි එයි. එසේම ඇය නිසාම භික්ෂුණී භාවය ලැබුවෝද බොහෝය. ඇය සමඟ පන්සියයක් ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් පැවිදි වූ බව සඳහන්ය. පරිණත නුවණ ඇති අය අතුරෙහි අග තැන්පත් ඇය වෙත කිහිප දෙනෙක්ම මහණ වූහ. ධීරා, වීර, මිත්තා, භද්‍රා, උපසමා ආදීහු ඇය සමඟම මහණ වූ අතර ථෙරිකා, මුත්තා, පුණ්ණා, තිස්සා, චිත්තා, මිත්තා, කපිල වංශික භද්‍රා, ගුත්තා, රන්කරු දියණි සුභා, ජීවක අඹ වනයෙහි සුභා ආදීහු මහා ප්‍රජාපතී ගෝතමිය යටතේ පැවිදි බව ලැබූහ.
බුදුන් වහන්සේගේ අනුදැනුම ඇතිව මහණ බව ලැබූ අය නම් මහා ප්‍රජාපතී ගෝතමිය ද ඇය සමඟ පැවිදි වූ පන්සියයක් ශාක්‍ය කුමරියෝ ද වෙති. මේ අය හැරුණු විට. ධම්මදින්නා, පටචාරා, ඛේමා, කිසාගෝතමී ආදීහු ද වෙති. මෙම තෙරණිය වහන්සේලා බුදුන් වහන්සේ විසින්ම නොයෙක් අග තනතුරු සඳහා පත් කරන ලද්දෝ වූහ. එහෙයින්ම භික්ෂුණීන් අතුරෙහි නායිකාවන් වූවා විය හැකිය. පටාචාරා තෙරණිය යටතේ පවිදි වූ තිස් දෙනෙකු හා පන්සිය දෙනෙකු ගැන සඳහන් වේ. ඊට අමතරව උත්තමා, චන්දා, උත්තරා යන අයද වෙති. ධම්මදින්නා තෙරණිය විසින් මහා ප්‍රජාපතී ගෝතමියගේ කිරි මව වශයෙන් සිටි තැනැත්තිය හා සුක්තා මහණ කරන ලදහ. ඛේමා තෙරණියෝ විජයා සහ උප්පලවණ්ණා පැවිදි කළහ. රන්කරු දියණි සුභා තෙරණියගේ ගී වල උප්පලවණ්ණා තෙරණියගේ නම සඳහන් වෙයි. ඉසිදාසිය මහණ වූයේ ජිනදත්තා නම් තෙරණියක යටතේය.
ආනන්ද තෙරුන්ගේ දහම අසා සාමා තෙරණියෝ මහණ වූහ. මුගලන් හිමි පෙලඹවීමට ගිය විමලා එතුමාගෙන් ලජ්ජාවට පත්ව හරි දැක්ම ලැබ පැවිදි වූ අතර, නන්දුත්තරා මහණ වූයේ මුගලන් හිමි සමඟ කළ වාදයෙන් පැරදුණ නිසාය. සැරියුත් හිමි සමඟ වාදයට එලඹ හරි දැක්ම ලැබ කුණ්ඩලකේශිය පැවිදි වූවාය. පුත් තෙර නමක විසින් හරි මග පෙන්වන ලදුව මහණ වූ වෝ නම් අභය මාත හා විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ මෑණියන් වූ අම්බපාලියයි. මෙලෙස තෙරණුවන් වහන්සේලා නිසාම පැවිදි බිමට එක් වූ තෙරණියන් වහන්සේලා ද වෙති.
මේ තෙරණියන් වහන්සේලාගේ කතා පුවත් මගින් මතු කර දැක්වෙන කරුණක් වනුයේ, මේ සියලු දෙනාම පෙර බුදුන් සමයෙහි පටන් කරන ලද පින් ඇත්තියන් බවයි. නිවන් මඟට යොමු වූ නුවණ මුහුකුරා යාම නිසා අන්තිම බවයට පිළිපන් ඔවුහු රහත් භාවය ලබා නිවන් දුටහ.
අට විසි බුදුවරුන් අතුරින් පළමුවෙන් ම සඳහන් වන පදුමුත්තර බුදුන් සමයෙහි පටන් තොරතුරු දැක්වෙන තෙරණීන් වහන්සේලා කිහිප දෙනෙකි. ධම්මදින්නා, උබ්බරී, කපිල වංශික භද්‍රා, සුන්දරී නන්දා, සකුලා, සෝණා, භද්‍රා, කුණ්ඩලකේශී, පටාචාරා , ඛේමා, ප්‍රජාපතී ගෝතමී, කිසා ගෝතමී හා උප්පලවණ්ණා ඔව්හුය. විපස්සී බුදුන් සමයෙහි පටන් තොරතුරු සඳහන් වන්නෝ මුක්තා, අභිරූප නන්දා, රෝහිණී යන තෙරණියන් වහන්සේලාය. සිඛි බුදුන් සමයෙහි සිට අභයා, සෝමා සහ අම්බපාලී තෙරණියන්ගේ පුවත් ද, වෙස්සභූ බුදුන්ගේ සමයෙහි සිට සුන්දරී තෙරණියගේ පුවතද සඳහන් වෙයි. අබය මාතාව තිස්ස බුදුන් සමයේ සිටද, ථෙරිකා හා සුමේධා කෝණගමන බුදුන්ගේ කාලයේ සිටද, මෙත්තිකා සිද්ධාර්ථ බුදුන්ගේ සමයේ සිටද අඩ්ඪකාසී කස්සප බුදුන්ගේ සමයේ සිටද සඳහන් වෙයි. රහත් භාවය ලැබීමට මෙසේ කල්ප ගණනාවක් තුළ දීම පැවති දැඩි අධිෂ්ඨානය මේ මඟින් දැක්වෙයි. එසේම අට විසි බුදු වරුන් වන්දනාමාන කිරීම ඇරඹුණු කලෙක මෙම පුවත් එක් වූවා ද විය හැකිය.
ඔවුන් තුළ තිබූ, නිවන් මඟට යොමු වූ චිත්ත ස්වභාවය නිසාම තරුණ වියෙදී ම පැවිදි වූ වෝ රැසක්ම මොවුන් අතර වෙති. සීහා, රෝහිණි, අනූපමා, ගුත්තා, උප්පලවණ්ණා, සුමේධා ආදීහු එවැන්නෝය. තරුණ වියෙහි සිටිය ද, තම ඥාතීන් මහණ වූ හෙයින් මහණ වූවෝ ද වෙති. සුන්දරී නන්දා පැවිදි වූඑයි ඥාති සෙනෙහස නිසාය. චාල, උපචාලා, සිසුපචාලා සොහොවුරු වූ සැරියුත් හිමි මහණ වූ නිසා පැවිදි වූහ. විවාපත් වී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ ද සැදැහෙන් පැවිදි වූ වෝ නම් සුජාතා හා ථෙරිකා ය. සැමියා පැවිදි වූ නිසා පැවිදි බිමට එළඹියෝ නම් ධම්මදින්න හා කපිල වංශික භද්‍රා ය. ස්වාමී වූ උපක තමා හැර ගොස් පැවිදි වූයෙන් චාපා පැවිදි වූවාය.
දරු සොවින් පැවිදි වූවෝද වෙති. පටාචාරා හා කිසා ගෝතමී පිළිබඳ කතා පුවත් ඒ අතර ප්‍රකට කතා පුවත්ය. උබ්බරී හා වාසෙට්ඨි තෙරණියෝද බුදුන් නිසාම දරු සොවින් මිදී පැවිදි වූහ. වාසෙට්ඨි තෙරණියන් හමු වූ සුන්දරීගේ පියා වූ සුජාත බමුණා ද දරු සොවින් මිදී පැවිදි විය. තෙරණියක් නිසා බමුණකු ද පැවිදි වූ අන්දම එයින් හෙළි වෙයි.
ඉසිදාසියගේ පැවිදි වීම මේවාට වඩා වෙනස් මගක් ගත්තකි. සැමියන් කිහිප දෙනෙකු විසින් හරන ලදුව, ඇති වූ කළකිරීමෙන් ඇය පැවිදි වූ බවක් පෙනෙයි. "මහා පවක් කර ඇත්තෙමි - එය දිරවා ලමි" යි කීමෙන් ඒ බව පෙනෙයි. ශාසනයට ඇති ලැදි කමට වඩා තමා ලත් දිවියෙන් පැන යාමක් එයින් පෙන්වයි. ගංගාතීරිය මාතාවගේ කතා පුවත උප්පලවණ්ණා තෙරණියගේ කතා පුවතෙහි එන අතුරු කතාවකි. ග්‍රීක සාහිත්‍යයෙහි එන ඊඩිපස් කතා පුවතෙහි මෙන් මෙහි ද මව පුතාගේ බිරිඳ වෙයි. ඊඩිපස් කතා පුවතෙහි මව සිය දිවි නසා ගත්ත ද, මෙහි දී මව පමණක් නොව පුතා ද පැවිදි වෙයි. මෙම කතාවෙන් ද දැක්වෙනුයේ ජීවිතයේ දී මුහුණ පෑ ඛේදනීය අවස්ථාවන්ගෙන් මිදීමට පැවිදි බව සෙවූවෝය. මේ දෙදෙනම රහත් භාවය ලැබූ බවද පැවසෙයි.
අවිවාහක කතුන්ට පැවිදි වීම සඳහා දෙමව්පිය අනුමැතිය අවශ්‍යය විය. සුමේධා දෙමව්පිය අනුමැතිය පතා දීර්ඝ දේශනාවක් කරන්නීය. විවාහක කතුන්ට පැවිදි බිමට එළඹීමට ස්වාමියාගේ අනුමැතිය අවශ්‍යය වූ බවද මෙම ගාථා වලින් පෙනේ. ථෙරිකා මුලින් ම එසේ ස්වාමි අනුමැතිය නොලැබුවාය. ඇය තම දෛනික වැඩ කටයුතු ම අරමුණු කර භාවනා කර මග පල ලැබුවාය. ස්වාමී අනුමැතිය ලැබෙනේ ඉන් පසුවය. ස්වාමියා විසින්ම භික්ෂුණීන් වෙත ගෙන ගොස් භාර දීමෙන් පසු ඇය පැවිදි වන්නීය. ධම්මා එසේ ස්වාමි අනුමැතිය නොලැබුවාය. එනිසා ඇය පැවිදි බව ලබනුයේ ස්වාමියාගේ මරණයෙන් පසු වය. මුක්තා ස්වාමි අනුමැතිය ලැබ පැවිදි වූවාය. ධම්මදින්නා ද භික්ෂුණීන් වෙතට ගෙන යනුයේ ඇයගේ ස්වාමියා විසින්මය.
විවාහයට තෝරා ගත් තැනැත්තා විවාහයට පෙර මිය යාම, එම තරුණිය බලයෙන්ම පැවිදි බිමට පත් කිරීමට හේතුවක් වූ බව ද පෙනේ. අභිරූප නන්දා හා ජෙන්තා ගේ කතා මගින් ඒ බව පැහැදිලි වෙයි. එවැන්නක් සිදු වන්නේ කාන්තාවගේ අවාසනාව නිසා යයි සැලකුවා විය හැකිය. විධවාවක වීම ද මහණ වීමට හේතුවක් වූ බව පෙනේ. සේලා තෙරණිය මහණ වනුයේ විධවාවක වීමෙන් පසුය. කුණ්ඩලකේශිය ද ස්වාමියා මරණයට පත් කිරීමෙන් පසුව නැවත තම නිවසට නොයා, නිඝණ්ඨ ප්‍රවෘජ්‍යාව ලබයි.
සුජාතා, භද්‍රා කුණ්ඩලකේසී වැනි අය බුදුන්ගේ බණ අසද්දීම රහත් බව ලැබූහ. එසේ නුවණ මුහුකුරා ගිය තෙරණියන් සේම, වඩා වෙර දරා ගැටෙමින් වෑයමින් රහත් බව ලබා ගත්තෝද වෙති. සාමා, උත්තමා වැනි අය එවැන්නෝය. රහත් බව නොලැබූ සීහා ගෙල වැල ලා ගැනීමට ගියාය. ඒ මොහොතේම නැවත තම ජීවිතය අවලෝකනය කරන්නී, ඇය යථාවබෝඩය ලබා රහත් බවට පත් වූවාය. මෙසේ රහත් භාවය ලබා ගැනීම එක් මොහොතකින් සිදු කර ගත් තෙරණියන් වහන්සේලා සේම, දීර්ඝ කාලයක්, සමහරවිට විසි පස් වසරක් තරම් කාලයක් තුළ වෙහෙස දරා ලබාගත් අයද තෙරණියන් අතර වෙති. "තම තම නැණ පමණින්" දහම අවබෝධ කර ගත යුතු බව එයින් පෙනේ.
මා පල කලේ පිටු කිහිපයක මා දුටු කතා කිහිපයක් පමණි.
සසර දනවුවේ, අපි අසරණ වෙලා ... තවමත් !!
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
ඒ පාරනම් හරි වාගෙ.මොකද සසර කලකිරීගෙනවත් එනවද?...හදිස්සියෙවත් නිවන් අවබෝධ උනොත් ඒ ගැන කියල පෝස්ට් එකක් දාන්න හොඳේ.
ථේරි ගාථා කියවනකොට වෙනම ලෝකෙකට යනවා වගේ. ඒ වගේ වෙන්න නම් අපිට තව කල්ප ගනනාවක් යාවි. ඒත් කියවලා හරි ඒ නිරාමිස සුවය ටිකක් හරි ලබන්න පුලුවන්.
මම දන්න හොඳ ආරණ්‍යක් තියෙනව. සසර කළකිරිලනම් සෙට් කරල දෙන්න පුඵවන්.
ථෙරි ගාතා නම් මරු තමයි.
අම්මෝ..........මේ කියවගෙන යද්දි දහම්පාසලේ බංකුවක් උඩ ඉන්නවා වගේ දැණුනේ. කියවගෙන ගියාට බෙල් එක ගහන්නේ කොයි වෙලේද කියලා හිත හිතා හිටියේ. බෙල් එක වදින පාටකුත් නැහැ. පාඩමත් ඉවරයි. බැලින්නම් ඔෆීස් එකේ දෙයියනේ. බෙල් ගහන එක කෙසේවෙතත් අරාබියා කනට ගහන්ට ඉස්සෙල්ලා කොමන්ට් එකකුත් කොටලම මම ගියා.
@ outsider: මමත් දන්න හොඳ ආරණ්‍ය තියනවා :P
@ ගීත්: ස්තුතියි :) හදිස්සියෙ නෙවෙයි අනේ හිමීට කියවන්න ඉඩ ලැබිච්ච වෙලාවක.
@සංජු: හ්ම්ම් ඔව්. ඒක ඇත්ත.
@ dinesh: හී හී... කොහෙද අපිට එච්චර වාසනාවක්. මේ මෙහෙණින් වහන්සේලා සමහරක් පුදුමාකාර විශාල පිංකම් කරපු අය..
අපිත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ පිංකම් කරගෙන යනවනෙ තාම .. :)
Post a Comment