skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 17, 2010

ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි

'ලස්සන වසිලීස්සා' පොත කියවල තියනවද? කියවල නැති උනත් අහල නැති වෙන්න විදිහක් නෑ.
පුංචි කාලෙ ඉදන් පොත් කියවන්න ඇබ්බැහි වෙච්ච කෙල්ලක් උනාට, මේ පොත මටත් කොහොම හරි මග ඇරිලා. දැන් තමයි මම ඕක කියවන්නෙ.

පොතේ සුරංගනා කතා ගොඩයි. මේ කතා කියවගෙන යන කොට මට දැනුණු දේ තමයි, නුවණැති ගැහැණුන්ටයි, නිර්භීත මිනිස්සුන්ටයි
රුසියන් සාහිත්‍යයේ කොච්චර තැනක් දීල තියනවද කියන එක.

ඉවාන් කුමාරයගෙයි, නුවණැති වසිලීස්සාගෙයි කතාව මේ කතා වලින් එකක් විතරයි. හැබැයි ඒ කතාව අපිට පාඩම් ගොඩක් කියල දෙනව කියල මට හිතුණා.

බොහොම ඉස්සර රජ කාලේ රජකුට පුත්තු තුන් දෙනෙක් හිටිය. රජ්ජුරුවො කිව්වා, තමන් මහළු වෙන්ට කලින් මුණුපුරන් දකින්නට ආසයි. ඉක්මණට විවාහ වෙන්නයි කියලා.
සරණ පාවා ගත යුතු තරුණිය හොයා ගන්නෙ මෙහෙමයි. එක එක්කෙනා, එක එක ඊයක් බැගින් අරගෙන එළිමහන් පිට්ටනියකට ගිහිල්ලා විදිනවා. ඊය වැටෙන්නෙ කොතනද, එතන තමා ඔවුන්ගේ හිමිකාරිය ඉන්නේ.

ඉතින් තුන් දෙනාම ඔය විදිහට කලා. ලොකු පුතාගේ ඊය සිටු ගෙදරකටත්, මද්දුම පුතාගේ ඊය ලොකු වෙළෙන්දෙකුගේ ගෙදරකටත් වැටුණා.
බාල පුතා ඉවාන්. ඉවාන් විද්ද ඊය ගිහිල්ල වැටිලා තිබුණෙ මඩ ගොඩකට. මඩ ගොඩේ හිටපු ගෙම්බි‍යක් ඒ ඊය ඇහිද ගත්තා.
ඉවාන් කුමාරයා ඈට කතා කළා.
"ගෙම්ඹියේ, ගෙම්ඹියේ ඊය මට දෙන්න"
"මාව සරණ පාව ගනින් !" ගෙම්ඹිය කීවා.
"එහෙම කොහොමද, ගෙම්ඹියක්ව මම සරණ පාව ගන්නේ කොහොමද?"
"මාව ගනින්. ඒ තමා නුඹගෙ ඉරණම"

ඉවාන් කුමරයා කණගාටුවෙන් නමුත් ගෙම්බිව අරගෙන මාලිගාවට ආවා. කසාදත් බැන්දා.
දැන් ඔන්න පිය රජතුමා තමන්ගේ ලේලිලාගේ දක්සකම් මනින කාලය.

රජු කිව්වා, බිරියන් තුන් දෙනාගෙන් මහන්න දක්ස කවුද කියලා දැන ගන්න, කමිසයක් බැගින් මස්සවලා ගෙනල්ලා දෙන්න කියල.
පුතුන් තුන් දෙනා හිස නමා ආචාර කරලා ගියා.
ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා.
ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන ඇවිත් අහනවා මොකද කියල.
ඉවාන් කුමාරයා විස්තරේ කියනවා.
"ඉවාන් කුමාරයා, නුඹ කණගාටු වෙන්ට එපා, ගිහින් නිදා ගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" ගෙම්බිය පිළිතුරු දුන්නා.

ඉවාන් කුමාරයා නිදා ගන්ට ගියා. ගෙම්බිය එළිපත්තට ගිහිල්ල ගෙඹි හම වීසි කරලා ලස්සන වසීලිස්සා උණා. එතරම් ලස්සන කෙනෙකු ගැන කියලා ඉවර කරන්නට බැහැ.
නුවණති වසීලිස්සා අත්පුඩි ගහලා මෙහෙම කිව්ව:
"අම්මලා නැන්දලා, එක්කසු වෙයල්ල ලැහැස්ති වෙයල්ල! මගේ තාත්තා ළග තියන කමිසය වගේ ලස්සන කමිසයක් හෙට උදේ වෙන කොට මහල දියල්ල !"
ඉවාන් කුමාරය උදේ නැගිටිනකොට ලස්සන කමිසයක් මේසෙ උඩ තියනවා. ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන යනවා.

ඔන්න ඉතින් පුත්තු තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරු මහපු කමිස පිය රජ තුමාට පිළිගැන්නුවා.
"මේ කමිසය වැඩ කරන කොට අදිනව" - ඒ ලොකු පුතා ගෙනා එක
"නාන්ට යනකොට අදින්නට මේ කමිසය හොදා" - ඒ මද්දුම පුතා ගෙනා කමිසෙ
"මෙන්න මේ තමා කමිසය. උත්සවයට අදින්න හොදයි" - ඉවාන් ගෙනා කමිසෙ උඩින්ම තේරුණා.

අයියලා දෙන්නට ගෙම්බිය ගැන සැක හිතුනා. රජ්ජුරුවො ඊලගට පැවරුවෙ, රසම පාන් හදන් එන්න.
අයියල දෙන්න ඔත්තු බලන්න ආච්චි කෙනෙක් යැව්ව.
ඔන්න ඉවාන් ආයිමත් හිස බදා ගෙන කල්පනා කරනවා. ගෙම්බිය යළිත් වගකීම බාර ගත්තා.
අයියලා දෙන්න ඔත්තු කාරියක් එවූ බවත් ගෙම්බියට දැනුණ. ඈ ඔත්තු කාරියට පේන්න, පිටි අනලා ලිපේ ගිනි අගුරු තියන තැන වළක් හාරලා,
අනපු පිටි ගුලිය එය ඇතුලට දැම්ම. ඔත්තු කාරි කියපු විස්තරේ අහලා අයියලාගේ බිරියන් දෙන්නත් මේකම කලා.

රෑ උනාම ආයිත් ගෙම්බි නුවණති වසිලිස්සා උනා. මොලොක් පාන් ගෙඩියක් හැදෙව්වා.
ඉවාන් කුමාරයා පිය රජු ලගට අරන් ගියේ සීනි වලින් ලස්සන මල් වැඩ දාපු පාන් ගෙඩියක්.
අයියල අරන් ආවෙ ලිපේ අගුරු වලට කර වෙච්ච කළු පාට පාන්. රජු ඒවා වැඩකාරයින්ගේ කෑමට යවලා, ඉවාන් ගෙනා පාන් ගෙඩිය අගේ කලා.

හෙට උදේට තමන්ගේ බිරියන් එක්ක පෙනී හිටින්න ඕනෙයි කියලා රජතුමා පුතුන්ට අණ කලා.
ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා. කොහොමද ගෙම්බියක් මිනිස්සුන්ට පෙන්නන්නේ?
ගෙම්බිය කිව්වා;
"නුඹ කණගාටු වෙන්න එපා, ඉවාන් කුමරයා, නුඹ සාදයට පලයන්. මම නුඹේ පිටුපසින් එන්නම්.
ලොකු හඩකුයි, ශබ්දයකුයි ඇහෙන්නට පුලුවන්. ඒකට බය වෙන්ට එපා. නුඹ මෙහෙම කියපන්. 'ඒ මගේ ගෙම්බිය රියකින් එනවා'"

ඉවාන් කුමාරයා උත්සවයට තනියම ගියා. අයියල බිරින්දෑවරු එක්ක ආව. ඒගොල්ලො ඉවාන් ට ගෙම්බි ගැන කියල හිනා උනා.
ටික වෙලාවකින් මාලිගාවම හෙලවෙන තරමේ ලොකු හඩක් ඇහුණා. ඉවාන් ගෙම්බිය කියන්න කිව්ව වගේම කිව්වා.
මෙන්න, සුදු පාට අශ්වයො හය දෙනෙක් ඇදගෙන ආපු රත්තරන් පාට රියකින් වසීලිස්සා බිමට බහිනවා. ඈ හරිම හරිම හරිම ලස්සන්යි.
ඇවිත් ඉවාන් කුමාරයා ලගින් වාඩි උනා. උත්සවය වෙලාවෙදි වසීලිස්සා තමන්ගේ තවත් දස්කම් පෙන්නුවා. වසීලිස්සා අණුකරණය කරන්න ගිය අනික් ලේලිලා දෙන්නව රජතුමා රජ ගෙදරින් පන්න ගත්ත.

මේ වෙලාවෙ ඉවාන් කුමාරය හොරෙන්ම ගෙදර ඇවිත් ගෙඹි හම පිච්චුවා.
නුවණැති වසිලිස්සා ගෙදර ඇවිත් ගෙඹි හම හෙව්වා. ඈ දුක් වුණා.
"අනේ ඉවාන් කුමාරයා, නුඹ මොනවා කලාද! තව දවස් තුනක් ඉවසා හිටියා නම්, මම සදහටම නුඹේ බිරිද වීමට ඉඩ තිබුණා.
දැන් ඉතින් නුඹට ආයුබෝවන්. මාව නුඹට ඕනෙ නම් නුඹ රටවල් තිස් නවයක් පහු කරගෙන හතලිස් වෙනි රටට එන්ට ඕනෙ.
නොමැරෙන කසේයි රාක්සයා ළග මාව හොයපන් "

නුවණැති වසිලීස්සා අළු පාට කොකෙකු වෙලා ජනේලයෙන් එළියට පියාඹා ගියා.
ඉවාන් කුමාරය අඩලා, අඩලා වසිලීස්සා හොයන්ට පිටත් උනා.
ඔහොම බොහොම දුරක් ගියාට පස්සෙ ඉවාන් කුමාරයට මහළු සීයා කෙනෙක් මුණ ගැහුණා. ඉවාන් කුමාරයා තමන්ගේ කතාව සීයට කිව්ව.
"අනේ ඉවාන් කුමාරය, නුඹ ගෙඹි හම පුච්ච දැම්මේ මොකටද? ඒ හම එයාට ඇන්දෙව්වේ නුඹ නොවෙයි, ගලවන්නට නුඹට අයිතියක් නැහැ.
නුවණැති වසීලිස්සා එයාගේ තාත්තාට වඩා කපටියි. නුවණක්කාරයි, ඒ නිසා තාත්තා තරහා වෙලා, අවුරුදු තුනක් තිස්සේ ගෙඹි හමක් අදින්නටත් ගෙම්බියක් වෙලා ඉන්නටත් ඇයට නියම කළා.
දැන් ඉතින් මේ නූල් බෝලේ අරගෙන වීසිකරලා ඒක යන දිහාවට නුඹත් බයනැතුව පලයන්." සීයා මෙහෙම කියලා ඉවාන් කුමාරයාට නූල් බෝලයක් දුන්න.

මහළු සීයාට ඉවාන් කුමාරය ස්තුති කරලා නූල් බෝලය වීසි කරලා යන්ට ගියා. නූල් බෝලය පෙරලි පෙරලී යනවා.
ඉවාන් කුමාරය ඒ පස්සෙ යනව. මෙහෙම යනකොට ඉවාන් කුමරයාට කිහිප වතාවකදී සතුන් කිහිප දෙනෙකු මුණ ගැසුනා.
ඔහු උන්ව මරන්නට ලෑස්ති උනාම, ඔවුන් අභය දානය ඉල්ලූ නිසා ඉවාන් කුමාරයා උන් මැරුවේ නෑ.
පසුව උදවු වෙනවයි මේ සත්තු කියා හිටියා.

ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ඔහුගේ නූල් බෝලය කැලෑවකට ආව. එතන බබායිගා යකින්නගේ ගේ. බබායිගා යකින්නගෙන් ඉවාන් කුමාරයා, කිසිදා නොමැරෙන කසේයි රාක්සයාගේ විස්තර අහ ගත්තා.
"මම දන්නව, දන්නව. නුඹේ බිරිද දැන් නොමැරෙන කසේයි රාක්සයා ළග ඉන්නවා. නුඹට ඒ රාක්සයා පරද්දන්ට බැහැ. ඔහුගෙ පණ තියෙන්නෙ ඉදිකටු තුඩක.
ඒ ඉදිකටු තුඩ තියෙන්නෙ බිත්තරයක, බිත්තරය තියෙන්නෙ තාරාවකුගේ බඩේ, තාරාවා ඉන්නේ හාවෙකුගේ බඩ ඇතුලේ, ඒ හාවා ඉන්නේ ගල් පෙට්ටගමක් ඇතුළේ,
ඒ ගල් පෙට්ටගම බොහොම උස ඕක් ගහක් උඩ තියනවා. නොමැරෙන කසේයි රාක්සයා ඕක් ගහ එයාගෙ ඇහැක් වගේ ආරක්සා කරනවා "

කොහොම හරි, අර උදවු කරන්නන් කියපු සත්තුන්ගේ උදවුවෙන් ඉවාන් කුමාරයට, ඉදිකටු තුඩ තියන බිත්තරය හම්බ උනා.
ඉවාන් කුමාරය බිත්තරය බිදලා අරගෙන ඉදිකටු තුඩ කැඩුවා. කසේයි මළා.

ඉවාන් කුමාරයා කසේයි යක්සයාගේ කිරි ගරුඬ මාළිගාවට ගියා. නුවණැති වසීලිස්සා දුවගෙන ඇවිල්ලා ඉවාන් කුමාරයාව සිප ගත්තා.
ඉවාන් කුමාරයා නුවණැති වසිලීස්සා සමඟ ගෙදර ඇවිල්ල බොහෝ කලක් සැපෙන් හා සතුටින් ජීවත් උණා.

අද ඒ ඉවාන් කුමාරවරු, නුවණැති වසිලිස්සලා කෝ?
Posted by ස්වප්නා at 23:14
වර්ගීකරණය: රස කතාවක්

14 විවේචන:

dinesh said...

මේක දැක්කහම මගෙ මතකයත් අවුරුදු 20ක් විතර අතීතයට ගියා.අපේ තාත්ත ඔය පොත ගෙනත් දෙනකොට මට අවුරුදු හතරක් විතර ඇති.මට දැන් හරියටම මතක නෑ.ඒත් මම ඒ කාලෙ බයම අර බාබායිගා යකින්න ඉන්න කතාවට.ආසම "වතුර බාල්දි ගෙදර යමන්" කියන දෙබස තියන කතාවට.ඔය පොත වාගෙම තව රුසියන් පරිවර්තනයක් තිබුන "‍තෝල්යා සහ ඔහුගේ යහලුවෝ" කියල.ඒකත් ලස්සනයි.
ඉවාන් කුමාරවරු,නුවණැති වසීලිස්සල අදත් ඉන්නව සුරංගනා ලෝකෙ.ඒත් අපිට එයාලව හම්බ වෙන්නෙ නැත්තෙ අපි ඉන්නෙ එයාලට ගොඩා......ක් දුරින්නෙ.

July 18, 2010 at 5:36 AM
Unknown said...

ම්ම්.. මමත් හරිම ආස පොතක් මේ.. තව තිබුණ රස කතා කියල සුදු පිට කවරයක් තියන ලොකු පොතක්.. ම්ම්ම්ම්.........

July 18, 2010 at 6:26 AM
Shadow/හේමලයා said...

ඔය වාගෙම කතාවක් මම පංච තන්ත්‍රයේ කියවලා තියෙනවා....ඒක නයි පැටියෙක් ලෙස උපන් කුමාරයෙක් ගේ කතවක්.....බොහොමත්ම ස්තුතියි බෙදා හදා ගත්තට......:D...

July 18, 2010 at 7:46 AM
``` Outsider``` said...

ලස්සන කතාවක්නෙ. මේ පොත දැකල තිබුණට කියවලනම් නෑ. ස්තූතියි කතාව පල කලාට.

July 18, 2010 at 11:39 AM
NUWAN said...

මේ කතාව කියවලා මා ආයෙත් මගේ බාල කාලෙට ගියා.එතකොට මම තුන වසරෙ හිටියෙ.මේ පොත අපේ තාත්තා මට උපදින තෑග්ගක් විදියටයි නත් දුන්නේ.මන් ඒකට කොයි තරම් කෑමති උන්නද කියනවානම් මට කන්නවත් වෙලාවක් නෑ.දවසෙන්ම පොත කියවල ඉවර කලා.මට මතකයි ඕකෙ මාරියා මොරව්නා වගේ නමක් ඈති කුමරියක් සිටියා.ඒත් දෑන් ලස්සන වසිලිස්සා පොත් මා ගාව නෑ.බොහොම සුන්දර පොතක් සුන්දර මතකයක්.බොලද හරසුන් කථා ගෑන බ්ලොග් පිටු ගනන් නොලියා මේ මතකය අවදි කල ඔබට තුති

July 18, 2010 at 11:57 AM
ස්වප්නා said...

@ dinesh:
ඔයා කියන කතාවෙ ඇත්තක් තියනවා. අපි ගොඩාක් අය ඉන්නෙ , ඉවාන්ලා වසීලිස්සලාට වඩා ගොඩාක් දුරින් :)

@ වැම්පයර්:
රස කතා ?? මම ඒක අහල නෑ අනේ.

@ හේමලයා:
පංච්තන්ත්‍රය මාත් කියවල තියනවා. ම්ම්ම්ම් මට දැන් මතක නෑ, මේ වගේම කතාව.

@ outsider:
තව ගොඩාක් කතා තියනවා ඒකෙ. හොයන් කියවන්න. හරිම ලස්සනයි.

@ Nuwan:
තැන්කූ. මාරියා මොරව්නා ඉන්න කතාවත් ලස්සනයි :)

July 19, 2010 at 8:33 AM
අතරමැදියා said...

මම මේ පොත කියවලා හීනෙකුත් දැක්කා ඒ කාලේ. ඒ තරමටම එකේ artwork ලස්සනයි. හත් පෙති මල සහ වැඩ බැරි දාස තමා ඒ කාලේ කියවපු මතක හිටින පොත්. :)

July 19, 2010 at 1:44 PM
ස්වප්නා said...

@ අතරමැදියා: ඔව්.. හීන බලන තරමට ලස්සනයි තමා :)

July 19, 2010 at 5:06 PM
Manik said...
This comment has been removed by the author.
July 21, 2010 at 6:02 PM
Manik said...

ඒක හරිම ලස්සන කතා පොතක්. මට මතක විදියට ඉස්සර තිබ්බ පොත කොළ පාට hard cover එකක් තියෙන ටිකක් ලොකු පොතක්. බබයිගා යකින්නට මමත් ඒදවස්වල බයයි. හීනෙනුත් පේනවා.ඔය පොත තමයි මම කියවපු මුල්ම රුසියානු පරිවර්තනය....

July 21, 2010 at 6:03 PM
කෝසල.. said...

මට මතකයි දිග අං ඇති සුදු මුවාගේ කතාව. ඒකත් ලැට්වියානු( රුසියාවේ රටක්)ජනකතාවක්. තව... මාෂා සහ වලහා (රටනම් මතක නෑ). මේවා කවදාවත් අමතක වෙන්නේ නෑ.දැන් පොඩිඑවුන් කොහෙද මේවා කියවන්නෙ...බෙන් 10 බලයි...Game ගහයි...රටකට ගිය කල....

August 13, 2011 at 10:24 PM
ස්වප්නා said...

ඒක නං ඇත්ත :(

August 14, 2011 at 6:35 PM
Anonymous said...

හුඟ කාලෙකින් අතීතයට ගියා වගෙ දැනෙනව :)

December 12, 2012 at 11:51 AM
Anonymous said...

ලස්සන වසිලිස්සා මගේ ලමා කාලය ලස්සම ලස්සන සුරංගනා ලෝකයක් කලේ එයා තමයි
දැනට අවුරැදු 12 කට කලින් තමා කියෙවුවේ ආයේ හෙයාගනන්ත් බැරිවුනා

February 15, 2015 at 8:23 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ▼  July (6)
      • අපි අපි වගේ ? ?
      • යාන්ත්‍රික ජීවිතයක පැතුමක්
      • ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි
      • ස් ටොප් සිමා නොවුණු දුක
      • මංගල යෝජනා
      • මනමේ නාටකය
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio