skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, November 30, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න අද වචන ටික:

261.) සම්පූර්ණ
262.) ආවේණික
263.) බන්දේසිය
264.) උච්චාරණය
265.) විශ්වාසවන්ත
266.) රුක් අත්තන
267.) සැඟවෙනවා
268.) කරුණාවන්ත
269.) අඳුරු ගුහාව
270.) වාග් මාලාව
271.) කොට්ඨාසය
272.) නොඉවසිල්ල
273.) ක්‍රියාකාරකම්
274.) රාත්‍රී කාලය
275.) ස්ත්‍රී ලිංග
276.) නිශ්චලතාව
277.) චමත්කාරය
278.) පෙළපාලිය
279.) අවමංගල්‍යය
280.) අවශ්‍යතාව
Posted by ස්වප්නා at 20:09 4 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Saturday, November 27, 2010

හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න



අට්ඨකථා සහිත ථෙරී ගී කියවීමට මා තුළ ආශාවක් ජනිත වූයේ අ.පො.ස.( උ.පෙළ ) කරනා කාලයේදී තේරී ගී සිංහල පරිවර්තනයක් කියවීමෙන් අනතුරුවය. . කෙසේ වුවත් අට්ඨ කතා සහිත ථෙරී ගාථා සිංහල පරිවර්තනයක් මට හමු වූයේ මෙවර පොත් ප්‍රදර්ශනයට ගිය මොහොතේදීය. පොත කියවෙන්නේ දැන්ය. කුසුම් දිසානායක මහත්මිය විසින් පරිවර්තනය කරනු ලදුව ඇති, ථෙරී ගාථා සහ අට්ඨකථා කියවීමේදී, ඇති වූ සතුට නිසාම සුළුවෙන් හෝ ඒ පිළිබඳ ලිපියක් පළ කළ යුතු යැයි මගේ සිත මට කීය.

සියලු උපුටා ගැනීම් : කුසුම් දිසානායක මහත්මියගේ "තෙරණී ගී" පොතෙනි

උපුටා ගැන්ම 1:

කාන්තා ජීවිතය පිළිබඳ පැරණිතම තොරතුරු සමහරක් සඳහන්ව ඇත්තේ ථෙරි ගාථා වලය. බුදුන් ජීවමාන කාලයේ දී ම නැතහොත් ඒ ආසන්න කාලයේම වාසය කල තෙරණියන් වහන්සේලා හැත්තෑ තුන් දෙනෙකු විසින් ගයන ලදුව සැලකෙන මේ ගාථා ආගමික හා සාහිත්‍යයික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මක වශයෙන්ද වැදගත් වෙයි.

ථෙරිගාථා ඇතුළත් වනුයේ සූත්‍ර පිටකයේ බුද්දක නිකායයෙහිය. ක්‍රි.පූ.අසූවේදී පමණ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන තෙක් කටින් කට පැවත ආ ථෙර ගාථා හා ථෙරි ගාථා එවක මෙසේ බුද්දක නිකායෙහි සංගෘහිතව ග්‍රන්ථාරූඪ විය. ක්‍රි.ව. පස්වන හෝ හයවන ශත වර්ෂයේදී දකුණු ඉන්දියාවේ කාංචිපුර විසූ ධම්මපාල නම් තෙරණුවෝ මේ ථෙරි ගාථා ඒවායේ අට්ඨකථා ද සහිතව නැවත ලිවූහ. මහා පංචරී සහ කුරුන්දි අට්ඨ කථා ද උපකාර කරගෙන මෙම පුවත් ලියූ බව කියවෙයි. අපදාන පුවත් ද ඇතුළත් මේවා "පරමත්ථදීපනී" නමින් සංග්‍රහ විණ. ගාථා 521 ඇතුළත් ථෙරිගාථ නිපාත 16 කට බෙදා පරමත්ථදීපනියෙහි ඇතුළත් වෙයි. නිපාත වශයෙන් වෙන් කර ඇත්තේ ඒ ඒ තෙරණියන් වහන්සේලා විසින් ගයන ලද ගාථා සංඛ්‍යාව අනුවය.


උපුටා ගැන්ම 2:


ඓතිහාසිකව, සැබැවින් ම ජීවත් වූ පුද්ගලයන් වශයෙන් වැදගත් වන අය අතර මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන වෙයි. මෙහෙණි සස්න ඇරඹුණේ ඇය නිසාය. ඒ පිළිබඳ පුවත, ඇයගේ ගාථා හා සම්බන්ධ කතා පුවතෙහි එයි. එසේම ඇය නිසාම භික්ෂුණී භාවය ලැබුවෝද බොහෝය. ඇය සමඟ පන්සියයක් ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් පැවිදි වූ බව සඳහන්ය. පරිණත නුවණ ඇති අය අතුරෙහි අග තැන්පත් ඇය වෙත කිහිප දෙනෙක්ම මහණ වූහ. ධීරා, වීර, මිත්තා, භද්‍රා, උපසමා ආදීහු ඇය සමඟම මහණ වූ අතර ථෙරිකා, මුත්තා, පුණ්ණා, තිස්සා, චිත්තා, මිත්තා, කපිල වංශික භද්‍රා, ගුත්තා, රන්කරු දියණි සුභා, ජීවක අඹ වනයෙහි සුභා ආදීහු මහා ප්‍රජාපතී ගෝතමිය යටතේ පැවිදි බව ලැබූහ.

බුදුන් වහන්සේගේ අනුදැනුම ඇතිව මහණ බව ලැබූ අය නම් මහා ප්‍රජාපතී ගෝතමිය ද ඇය සමඟ පැවිදි වූ පන්සියයක් ශාක්‍ය කුමරියෝ ද වෙති. මේ අය හැරුණු විට. ධම්මදින්නා, පටචාරා, ඛේමා, කිසාගෝතමී ආදීහු ද වෙති. මෙම තෙරණිය වහන්සේලා බුදුන් වහන්සේ විසින්ම නොයෙක් අග තනතුරු සඳහා පත් කරන ලද්දෝ වූහ. එහෙයින්ම භික්ෂුණීන් අතුරෙහි නායිකාවන් වූවා විය හැකිය. පටාචාරා තෙරණිය යටතේ පවිදි වූ තිස් දෙනෙකු හා පන්සිය දෙනෙකු ගැන සඳහන් වේ. ඊට අමතරව උත්තමා, චන්දා, උත්තරා යන අයද වෙති. ධම්මදින්නා තෙරණිය විසින් මහා ප්‍රජාපතී ගෝතමියගේ කිරි මව වශයෙන් සිටි තැනැත්තිය හා සුක්තා මහණ කරන ලදහ. ඛේමා තෙරණියෝ විජයා සහ උප්පලවණ්ණා පැවිදි කළහ. රන්කරු දියණි සුභා තෙරණියගේ ගී වල උප්පලවණ්ණා තෙරණියගේ නම සඳහන් වෙයි. ඉසිදාසිය මහණ වූයේ ජිනදත්තා නම් තෙරණියක යටතේය.

ආනන්ද තෙරුන්ගේ දහම අසා සාමා තෙරණියෝ මහණ වූහ. මුගලන් හිමි පෙලඹවීමට ගිය විමලා එතුමාගෙන් ලජ්ජාවට පත්ව හරි දැක්ම ලැබ පැවිදි වූ අතර, නන්දුත්තරා මහණ වූයේ මුගලන් හිමි සමඟ කළ වාදයෙන් පැරදුණ නිසාය. සැරියුත් හිමි සමඟ වාදයට එලඹ හරි දැක්ම ලැබ කුණ්ඩලකේශිය පැවිදි වූවාය. පුත් තෙර නමක විසින් හරි මග පෙන්වන ලදුව මහණ වූ වෝ නම් අභය මාත හා විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ මෑණියන් වූ අම්බපාලියයි. මෙලෙස තෙරණුවන් වහන්සේලා නිසාම පැවිදි බිමට එක් වූ තෙරණියන් වහන්සේලා ද වෙති.

මේ තෙරණියන් වහන්සේලාගේ කතා පුවත් මගින් මතු කර දැක්වෙන කරුණක් වනුයේ, මේ සියලු දෙනාම පෙර බුදුන් සමයෙහි පටන් කරන ලද පින් ඇත්තියන් බවයි. නිවන් මඟට යොමු වූ නුවණ මුහුකුරා යාම නිසා අන්තිම බවයට පිළිපන් ඔවුහු රහත් භාවය ලබා නිවන් දුටහ.

අට විසි බුදුවරුන් අතුරින් පළමුවෙන් ම සඳහන් වන පදුමුත්තර බුදුන් සමයෙහි පටන් තොරතුරු දැක්වෙන තෙරණීන් වහන්සේලා කිහිප දෙනෙකි. ධම්මදින්නා, උබ්බරී, කපිල වංශික භද්‍රා, සුන්දරී නන්දා, සකුලා, සෝණා, භද්‍රා, කුණ්ඩලකේශී, පටාචාරා , ඛේමා, ප්‍රජාපතී ගෝතමී, කිසා ගෝතමී හා උප්පලවණ්ණා ඔව්හුය. විපස්සී බුදුන් සමයෙහි පටන් තොරතුරු සඳහන් වන්නෝ මුක්තා, අභිරූප නන්දා, රෝහිණී යන තෙරණියන් වහන්සේලාය. සිඛි බුදුන් සමයෙහි සිට අභයා, සෝමා සහ අම්බපාලී තෙරණියන්ගේ පුවත් ද, වෙස්සභූ බුදුන්ගේ සමයෙහි සිට සුන්දරී තෙරණියගේ පුවතද සඳහන් වෙයි. අබය මාතාව තිස්ස බුදුන් සමයේ සිටද, ථෙරිකා හා සුමේධා කෝණගමන බුදුන්ගේ කාලයේ සිටද, මෙත්තිකා සිද්ධාර්ථ බුදුන්ගේ සමයේ සිටද අඩ්ඪකාසී කස්සප බුදුන්ගේ සමයේ සිටද සඳහන් වෙයි. රහත් භාවය ලැබීමට මෙසේ කල්ප ගණනාවක් තුළ දීම පැවති දැඩි අධිෂ්ඨානය මේ මඟින් දැක්වෙයි. එසේම අට විසි බුදු වරුන් වන්දනාමාන කිරීම ඇරඹුණු කලෙක මෙම පුවත් එක් වූවා ද විය හැකිය.

ඔවුන් තුළ තිබූ, නිවන් මඟට යොමු වූ චිත්ත ස්වභාවය නිසාම තරුණ වියෙදී ම පැවිදි වූ වෝ රැසක්ම මොවුන් අතර වෙති. සීහා, රෝහිණි, අනූපමා, ගුත්තා, උප්පලවණ්ණා, සුමේධා ආදීහු එවැන්නෝය. තරුණ වියෙහි සිටිය ද, තම ඥාතීන් මහණ වූ හෙයින් මහණ වූවෝ ද වෙති. සුන්දරී නන්දා පැවිදි වූඑයි ඥාති සෙනෙහස නිසාය. චාල, උපචාලා, සිසුපචාලා සොහොවුරු වූ සැරියුත් හිමි මහණ වූ නිසා පැවිදි වූහ. විවාපත් වී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ ද සැදැහෙන් පැවිදි වූ වෝ නම් සුජාතා හා ථෙරිකා ය. සැමියා පැවිදි වූ නිසා පැවිදි බිමට එළඹියෝ නම් ධම්මදින්න හා කපිල වංශික භද්‍රා ය. ස්වාමී වූ උපක තමා හැර ගොස් පැවිදි වූයෙන් චාපා පැවිදි වූවාය.

දරු සොවින් පැවිදි වූවෝද වෙති. පටාචාරා හා කිසා ගෝතමී පිළිබඳ කතා පුවත් ඒ අතර ප්‍රකට කතා පුවත්ය. උබ්බරී හා වාසෙට්ඨි තෙරණියෝද බුදුන් නිසාම දරු සොවින් මිදී පැවිදි වූහ. වාසෙට්ඨි තෙරණියන් හමු වූ සුන්දරීගේ පියා වූ සුජාත බමුණා ද දරු සොවින් මිදී පැවිදි විය. තෙරණියක් නිසා බමුණකු ද පැවිදි වූ අන්දම එයින් හෙළි වෙයි.

ඉසිදාසියගේ පැවිදි වීම මේවාට වඩා වෙනස් මගක් ගත්තකි. සැමියන් කිහිප දෙනෙකු විසින් හරන ලදුව, ඇති වූ කළකිරීමෙන් ඇය පැවිදි වූ බවක් පෙනෙයි. "මහා පවක් කර ඇත්තෙමි - එය දිරවා ලමි" යි කීමෙන් ඒ බව පෙනෙයි. ශාසනයට ඇති ලැදි කමට වඩා තමා ලත් දිවියෙන් පැන යාමක් එයින් පෙන්වයි. ගංගාතීරිය මාතාවගේ කතා පුවත උප්පලවණ්ණා තෙරණියගේ කතා පුවතෙහි එන අතුරු කතාවකි. ග්‍රීක සාහිත්‍යයෙහි එන ඊඩිපස් කතා පුවතෙහි මෙන් මෙහි ද මව පුතාගේ බිරිඳ වෙයි. ඊඩිපස් කතා පුවතෙහි මව සිය දිවි නසා ගත්ත ද, මෙහි දී මව පමණක් නොව පුතා ද පැවිදි වෙයි. මෙම කතාවෙන් ද දැක්වෙනුයේ ජීවිතයේ දී මුහුණ පෑ ඛේදනීය අවස්ථාවන්ගෙන් මිදීමට පැවිදි බව සෙවූවෝය. මේ දෙදෙනම රහත් භාවය ලැබූ බවද පැවසෙයි.

අවිවාහක කතුන්ට පැවිදි වීම සඳහා දෙමව්පිය අනුමැතිය අවශ්‍යය විය. සුමේධා දෙමව්පිය අනුමැතිය පතා දීර්ඝ දේශනාවක් කරන්නීය. විවාහක කතුන්ට පැවිදි බිමට එළඹීමට ස්වාමියාගේ අනුමැතිය අවශ්‍යය වූ බවද මෙම ගාථා වලින් පෙනේ. ථෙරිකා මුලින් ම එසේ ස්වාමි අනුමැතිය නොලැබුවාය. ඇය තම දෛනික වැඩ කටයුතු ම අරමුණු කර භාවනා කර මග පල ලැබුවාය. ස්වාමී අනුමැතිය ලැබෙනේ ඉන් පසුවය. ස්වාමියා විසින්ම භික්ෂුණීන් වෙත ගෙන ගොස් භාර දීමෙන් පසු ඇය පැවිදි වන්නීය. ධම්මා එසේ ස්වාමි අනුමැතිය නොලැබුවාය. එනිසා ඇය පැවිදි බව ලබනුයේ ස්වාමියාගේ මරණයෙන් පසු වය. මුක්තා ස්වාමි අනුමැතිය ලැබ පැවිදි වූවාය. ධම්මදින්නා ද භික්ෂුණීන් වෙතට ගෙන යනුයේ ඇයගේ ස්වාමියා විසින්මය.

විවාහයට තෝරා ගත් තැනැත්තා විවාහයට පෙර මිය යාම, එම තරුණිය බලයෙන්ම පැවිදි බිමට පත් කිරීමට හේතුවක් වූ බව ද පෙනේ. අභිරූප නන්දා හා ජෙන්තා ගේ කතා මගින් ඒ බව පැහැදිලි වෙයි. එවැන්නක් සිදු වන්නේ කාන්තාවගේ අවාසනාව නිසා යයි සැලකුවා විය හැකිය. විධවාවක වීම ද මහණ වීමට හේතුවක් වූ බව පෙනේ. සේලා තෙරණිය මහණ වනුයේ විධවාවක වීමෙන් පසුය. කුණ්ඩලකේශිය ද ස්වාමියා මරණයට පත් කිරීමෙන් පසුව නැවත තම නිවසට නොයා, නිඝණ්ඨ ප්‍රවෘජ්‍යාව ලබයි.

සුජාතා, භද්‍රා කුණ්ඩලකේසී වැනි අය බුදුන්ගේ බණ අසද්දීම රහත් බව ලැබූහ. එසේ නුවණ මුහුකුරා ගිය තෙරණියන් සේම, වඩා වෙර දරා ගැටෙමින් වෑයමින් රහත් බව ලබා ගත්තෝද වෙති. සාමා, උත්තමා වැනි අය එවැන්නෝය. රහත් බව නොලැබූ සීහා ගෙල වැල ලා ගැනීමට ගියාය. ඒ මොහොතේම නැවත තම ජීවිතය අවලෝකනය කරන්නී, ඇය යථාවබෝඩය ලබා රහත් බවට පත් වූවාය. මෙසේ රහත් භාවය ලබා ගැනීම එක් මොහොතකින් සිදු කර ගත් තෙරණියන් වහන්සේලා සේම, දීර්ඝ කාලයක්, සමහරවිට විසි පස් වසරක් තරම් කාලයක් තුළ වෙහෙස දරා ලබාගත් අයද තෙරණියන් අතර වෙති. "තම තම නැණ පමණින්" දහම අවබෝධ කර ගත යුතු බව එයින් පෙනේ.

මා පල කලේ පිටු කිහිපයක මා දුටු කතා කිහිපයක් පමණි.

සසර දනවුවේ, අපි අසරණ වෙලා ... තවමත් !!
Posted by ස්වප්නා at 17:48 6 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

3 වසරේ ටීචර් වගේ නෙවෙයි, 4 වසරේ ටීචර් කම්මැලි වෙලාද මන්දා කියල, ළමයින්ට හිතුණද දන්නෙ නෑ :)
මේකනෙ, ටීචර්ටත් පොඩි විභායක් තිබුණා.
මතකද අර එක පාරක් ලියලා, ෆේල් වෙච්චි විභාගෙ?
අන්න ඒක ආයි ලිව්වා :(

ඒකෙන් මේකෙන් වැඩක් නෑ. ඔන්න අද පාඩම. :)


241.) ශ්‍රවණය
242.) කාලච්ඡේද
243.) යන්ත්‍රය
244.) භාරකාරිය
245.) අධ්‍යාපනය
246.) විෂ්කම්භය
247.) අණ බෙර
248.) ප්‍රතිබිම්බය
249.) උපදේශක
250.) ගඟ ලඟ
251.) කුංචනාදය
252.) මිණි මුතු
253.) ශිෂ්ටාචාර
254.) ඉත්තෑ රාල
255.) වල්නාශක
256.) සම්බන්ධ
257.) නිර්මාණය
258.) ගවේෂණය
259.) වෙවුලනවා
260.) තුරුපෙළ

පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 08:47 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Wednesday, November 24, 2010

අකීකරු හිමියනේ

පෙරදා බැඳුණු ආලේ සිහි නැති වීදෝ
පෙරදා කෙරුම් සිහි වී හිත වද දී දෝ
දරුවන් ලැබූ පසු මා වියපත් වී දෝ
පෙරදා සතුට යළි යළි ඕනෑ වී දෝ

පෝරුව මස්තකේ දෑඟිලි බැඳුණු දිනේ
මගෙ අත නොවෙයි හිතමයි මා පුද දුන්නේ
මට දැන් දැනේ, නෑ නුඹ පෙම අරුත් කලේ
මල් කැකුළියක් ගෙට ගන්ටයි ඕන කළේ

හිත ගත් නුඹේ ඈ හට නොකරමි නින්දා
රජ සිටු මැතිවරුත් තුන් කල් කළ හින්දා
මීසේ මීරි වෙන පව් දුක් දෙන හින්දා
කෑ කෝ ගසා වෙර ගමි නුඹ ගලවන්ටා

නුඹේ විකුම් දරුවන් කන නොවැටීයන්
නුඹේ ගමන් කිසි කෙනෙකුට නොපෙනීයන්
දුක උහුලන්ට මාගේ හිත දැඩි වීයන්
මතු සසරේ නිවැරදි වී හමු වීයන්
Posted by ස්වප්නා at 09:11 10 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Sunday, November 21, 2010

වාසනාවේ කවි කොළය

හිතන පතන දේ ලැබෙන්න
මහන්සියෙන් වැඩ කරන්න
වාසනාව අඳුරගන්න
හිතටත් ඉඩ ලබා දෙන්න

දුක් කඳුළැලි නිවාලන්න
ඇසට කඳුළ හුරු කරන්න
දුක දැනුණම නාඬ ඉන්න
හිත පොඩ්ඩක් දැඩි කරන්න

ලැබීමෙන්ම විතරක් නොව
දෙන දෙයිනුත් හිත පුරාම
සතුට ගලන බව දැනෙන්න
බෙදා ගන්න පුරුදු වෙන්න

ලැබෙන පුංචි දේ ගැන වුව
සතුටු වන්න පුරුදු වෙන්න
නොලැබෙන වස්තුව කුමටද
ඇලුම් බැඳුම් නැති කරන්න

වාසනාව වැරහැලි ඇඳ
ආ දා ඈ හඳුනගන්න
ලෝබය, ද්වේශය , මෝහය
නෙත් මානෙන් පන්න ගන්න
Posted by ස්වප්නා at 17:19 9 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Sunday, November 14, 2010

අමාවක සඳ

"මාව හොයාගෙන එන්ට එපා. ඔයා දුක් වෙන්නත් එපා."
මට දැඩි සීතලක් දැනේ. හිසේ සිට දෙපතුල දක්වාම කකියයි.
අමරසිරි පීරිස්ගේ ගී හඬ අල්ලපු ගෙදර රේඩියෝවෙන් ඇසේ.
"ඇය යන්න ගියා මැකිලා..
ගී ගයමින් හිඳ මා තුරුළේ
ඇය යන්න ගියා මැකිලා..."

පන්තියේ මා ඈ හඳුනා ගත්තේ දයාබර සහෝදර සිසුවියක හැටියටය. වැඩිහිටියන් වූ අප තවමත් විභාග කරමින් සිටීම
පිළිබඳව අපි අපටම සිනා සීමු. නමුත් අහම්බයකින් වූ සිදුවීමක් අපේ සබඳකම දුර දිග ගෙන ගියේය.

මම සමාජ ශාලා යෑමට ඇබ්බැහි වූවෙක් වීමි. අවේලාවේ යන ගමන් නතර කරන්නට ගෙදරින් කොතරම් උත්සාහ කලත්, මා අත ගැවසි මුදලුත්, මගේම නොසණ්ඩාලකමත් ඊට ඉඩ නොදිනි. සමාජ ශාලාවේ රාත්‍රියක, මා වෙනුවෙන් විවර වුණු දොරින්, කාමරයට ඇතුළු වුණු මම එක්වරම හිටි තැනම ගල් වීමි. ඒ ඈ මය. ඇය පත් අපහසුතාවය ඊට නොදෙවනි බව නොකිව මනාය.

අපි කතා කළෙමු. රැය පහන් වන තුරු කතා කළෙමු.

"මුලින් මම ආවෙ DJ floor එකේ ඉන්න විතරයි. ඉගෙන ගන්න, ගෙදර යවන්න, විය හියදම් බලා ගන්න ඇති තරම් ආදායමක් ලැබුණා. කවුරුත් දන්නෙත් නෑ. අපි දෙතුන් දෙනෙක්ම හිටියා. මෙහෙට එන වැදගත්ම කස්ටමර් කෙනෙක්ට මාව උවමනා වෙලා තිබ්බා. අයිතිකාරයට මිනිහගෙන් ගැලවිල්ලක් නෑ. මට අයිතිකාරයගෙන් ගැලවිල්ලක් නෑ. අන්තිමට මෙතන නතර උනා."

"මං හිතුවෙ මෙහෙ ඉන්න අය කැමැත්තෙන් මේ රස්සාව කරනවා කියල"

"කැමැත්තෙන් තමයි කරන්නෙ; අකමැති වෙලා වැඩක් නෑ"

"අපි හිතනවට වඩා දේවල් සංකීර්ණයි." මම තනිවම සිතීමි.

ඈ පන්ති නො ආ විට මම ඈ සෙවීමි. පිටතදී මුණ ගැසීමි.
ඈ වෙනදා මෙන් කෙළින් මා දෙස නොබලන්නීය. "ඔයා එන්න. පන්ති නෑවිත් ඉන්න එපා"
කිසිවකුට නවත්තන්නට බැරි වූ මගේ සමාජ ශාලා ගමන එතැනින්ම නතර විය. ඈ එතැනින් මුදා ගැනීම අපහසුය. ඈ එතැනින් මුදා ගෙනවිත් මට තියන්නට තැනක්ද නැත.
කෙසේ වුවත්, සරලවම අපි පෙම්වතුන් වීමු. එය සැබැවින්ම හින්දි ඡිත්‍රපටයක් මෙන් විය. මම කිසිදිනක අනාගතය ගැන නොසිතුවෙමි. අලුතෙන් සිතන්නටද දෙයක් නැත. හිතන්නට මට ඕනෑත් නැත.

පුවත් පතෙහි ඇගේ ඡායාරූපය දුටු මගේ ඉහ මොළ රත් විණි. "හඳුනා ගැනීමට සහාය වන්න"
දැන්නම් ඈට මගේ ජංගම දුරකථනයෙන් ඇමතීම ඥානාන්විත නොවේ.
මම පොදු දුරකථන කුටියකින් දුරකතන ඇමතිමක් ලබා ගතිමි.
ප්‍රතිචාරයක් නොමැත.
දින කිහිපයකට පසු මා නමට ලිපියක් ලැබිණි.

"මම අන්තිම තීරණේ ගත්තා. කිසි කෙනෙක්ට මාව හොයා ගන්න ලැබෙන්නෙ නෑ.මම යන්නම යනවා. මට ගෙදර යන්න බෑ. සල්ලි එව්වෙ මෙහෙමද අහලා අම්ම ලතෝනි තියනවා. නංගිලාට ලැජ්ජයි. තාත්තා මාව මරන්න හොයනවා. එයා තැබෑරුම් ගානෙ යනකොට අපිව මතක තිබ්බ නං මෙහෙම වෙන්නෙ නෑ. වෙච්ච දේවල් ආපස්සට යවන්න බෑ. මට ඉස්සරහට යන්නත් බෑ. හිර වෙලා ජීවත් වෙන්නත් බෑ.
ඔයා අඳුරගන්න ලැබුනට සංතෝසයි.....
මං ආදරෙයි.."

"අමාවක දවසට අහස කළුවර උනාට සම්පූර්ණ වැරැද්ද හඳේද?" මට කෑ ගසා අසන්නට සිතුණි.
Posted by ස්වප්නා at 11:23 7 විවේචන
වර්ගීකරණය: පුංචි කතාවක්

Friday, November 12, 2010

වෙරළ ඔබ සිහිනෙකී



නිවී හැනහිල්ලේ
අලසව, මගේ පාඩුවේ
යන්නට නොදී ඔහේ
කවුද කලබල ඇති කලේ

ගල් පර වල හැපේ
දකින විට ඔබ වෙරළ වී
නොනැවත ඉන් මිදී
යළිදු නැඟ එමි වෙර යෙදී

විසල් රළ කඳු වෙවී
ආ මුත් රැඳෙන්නට බැරී
වෙරළ ඔබ සිහිනෙකී
සයුර වෙත මම ගලා යන්නෙමි
Posted by ස්වප්නා at 20:45 2 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්

Friday, November 5, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අද වචන ටික. ගැටලු සහගත තැනක් තියනවා නං අහන්න.
අපිට හොයල බලන්න බැරියැ :)

221.) ප්‍රපාතය
222.) නිශ්ශබ්ද
223.) අනුක්‍රමය
224.) ප්‍රබෝධ
225.) වර්ධනය
226.) සඟරාව
227.) මර්දනය
228.) කණපිට
229.) සාමාන්‍ය
230.) ස්තුතියි
231.) කනිෂ්ඨ
232.) ප්‍රශංසා
233.) ආදර්ශය
234.) නටබුන්
235.) ප්‍රතිඵල
236.) නිලුපුල්
237.) විශිෂ්ට
238.) පොළොව
239.) මඳ සුළඟ
240.) නරඹනවා

පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 18:38 3 විවේචන
වර්ගීකරණය: සාහිත්‍යය කලා

Monday, November 1, 2010

අලුත යාළු වුණු ජෝඩුවක්




පි:
මහ වැස්සක තෙමී හදවත බර වීද
රෑ සඳ එළිය හිත ගාවම නැවතීද
ගැ:
වැස්සක් වී වැටී සඳ එළියක් සේම
හිත ගාවට වෙලා දැන් හිනැහෙනවාද

පි:
තනියම හිනා වෙන්නට ඔය නෙත් දෙකට
රෑ තරු ඇවිත් රහසින්වත් කීවාද
ගැ;
තරු කැට කඩා වැටෙනා අහසක් සේම
දෙනුවන් රවටලා හෙමිහිට නොදැනීම

පි:
ගහ කොළ වල එතෙන මුදු පවනක් සේම
මගෙ හිත වෙළා නුඹ පමණයි හැමදාම
ගැ:
රෑ සිහිනෙන් ඇවිත් මඳ සුළඟක් සේම
හීන හැබෑ වන දා පවසනවාද
Posted by ස්වප්නා at 19:25 15 විවේචන
වර්ගීකරණය: සිතුවිල්ලක්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ▼  November (9)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අකීකරු හිමියනේ
      • වාසනාවේ කවි කොළය
      • අමාවක සඳ
      • වෙරළ ඔබ සිහිනෙකී
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අලුත යාළු වුණු ජෝඩුවක්
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio